කඳානේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් කොටු වෙයි.

කඳානේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් කොටු වෙයි.

කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 24 ට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක්, විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින කදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එම කාන්තාව විසින් කදාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත. මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව අද(01) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, සීදූව, ලියනගේ මුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින අදාල ස්ථානය වැටලීම් කරන ලදී. එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11 ක් නිළධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු.1,452,000 ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුද ඊයේ දින විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අතර, එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා අද දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 
 
 
 
 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media