ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු පරීක්ෂණ හා මර්දන වැඩසටහනක් මෙම මස 25, 26 සහ 27 යන දිනවල ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා, ගරාජ සහ සේවා මධ්‍යස්ථාන, වැඩිහිටි නිවාස, ගොවිපළවල් හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

එමෙන්ම පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ පාසල් සහ පෙර පාසල් (මොන්ටිසෝරි) පරීක්ෂා කිරීම ද සිදු කෙරෙන අතර, එක් එක් වසමක තෝරාගත් නිවාස 50 බැගින් පරීක්ෂා කිරීමට ද සැලසුම් කර ඇත.

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම සඳහා ප්‍රජා සංවිධාන, ප්‍රජා මණ්ඩල, මහජන ආරක්ෂක කමිටු සහ ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි ය. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ලසිත් භාෂණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සංවිධාන, වැඩිහිටි සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව මෙම ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඩෙංගු මර්දනය සඳහා සියලුම ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, නිවාස හා පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media