කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල, පෑලියගොඩ ගෙවල්වලට පැන අලුත් වාහනවල ප්‍රධාන ලාම්පු ගලව විකුණූ කණ්ඩායමක් අත්අඩංගුවට

කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල, පෑලියගොඩ ගෙවල්වලට පැන අලුත් වාහනවල ප්‍රධාන ලාම්පු ගලව විකුණූ කණ්ඩායමක් අත්අඩංගුවට

නිවෙස්වල නවතා දමා ඇති නවීන මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු (Head Light) රාත්‍රී කාලයේ නිවාස වෙත පැමිණ ගලවාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනකු, ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමඟ පෙරේදා (05) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මේ ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. මොහු කලක් මෝටර් රථ ගරාජයක සේවය කළ මෝටර් රථ කාර්මිකයෙකි.

අනෙක් පුද්ගලයා කිරිල්ලවල, වෑබඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

මොවුන් දෙදෙනා කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල සහ පෑලියගොඩ ප්‍රදේශවල නිවෙස්වල නවතා ඇති නවීන මෝටර් රථ ගරාජ වෙත රාත්‍රී 12.00න් පසුව ඇතුළු වී ඒවායේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පමණක් ගලවාගෙන ගොස් කොළඹ, පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් විකුණන කඩවලට අලෙවි කිරීම සිදු කරගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් වෙත ලද බුද්ධි තොරතුරක් මත කටුනායක 18 කණුව ප්‍රදේශයේ මොවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් මේ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3,100ක් පමණ ප්‍රමාණයක් ද තිබී පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර, මොවුන් මීට පෙර අවස්ථාවලදී, මේ ආකාරයට නවීනතම මෝටර් රථවල ප්‍රධාන විදුලි ලාම්පු ගලවා අධිකරණය මඟින් වැරදිකරුවන් වූ පුද්ගලයන් බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පැවසූහ.

අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන් (37371) සුනිල්, පොලිස් කොස්තාපල්වරුන් වන (93015) කරුණානායක, (96820) සඳමාල්, (100255) සෙනෙවිරත්න, (102289) මධුසංඛ සහ කාන්තා පොලිස් කොස්තාපල් (10971) රාජපක්ෂ යන නිලධාරීහු විසින් සිදු කරමින් සිටිති.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, සොරකමට යොදාගත් ත්‍රිරෝද රථය සහ අත්අඩංගුවට ගත් ප්‍රධාන විදුලි ලාම්පු තොගය ඊයේ (06) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media