චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මෙලනි මහත්මිය හමුවෙයි. ඊයේ (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්විණ.

ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන සැලකිල්ල කිසිදු අයුරකින් වෙනස් වී නොමැත. සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ඉතාලිය ඇතුළු සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදාගැනීමට චීනය සූදානමින් සිටී.

එසේම, ඉතාලිය චීනයේ සංවර්ධන සංකල්පය අවබෝධ කරගනිමින් ඊට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය. චීනය හා ඉතාලිය අන්‍යෝන්‍ය වශයෙන් සිය වෙළඳපොළ විවෘත කරමින් සහයෝගිතා පැවැත්වීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කළේය. ආර්ථික හා වෙළඳ ආයෝජන, කාර්මික නිෂ්පාදන සහ විද්‍යා තාක්ෂණික නවෝත්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වඩාත් පුළුල් සහයෝගිතාවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලොව පැරණිතම ශිෂ්ටාචාර හිමි රටවල් දෙකක් වශයෙන් ඉතාලිය හා චීනය සැමවිටම එකිනෙකා කෙරෙහි ලැදියාව දක්වන බව ජෝජියා මෙලනි මහත්මිය එම හමුවේ දී කියා සිටියා ය. වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ දී චීනය වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටී. චීනය සතු වන ජාත්‍යන්තර තත්ත්වය හා බලපෑම් ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග වඩාත් සමීප හා වඩාත් ඉහළ මට්ටමක සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉතාලිය කැමති බවත් අගමැතිනිය කියාසිටියාය.

ආර්ථික, වෙළඳ, විදුලි මෝටර් රථ නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය හා සංස්කෘතික හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය. එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media