යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කරයි.

යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කරයි.

වරක් හදිසි සෞඛ්‍ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ ‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්‍රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙන් මේ වන විට 450 දෙනකු පමණ මියයෑමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම පියවර ගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කොංගෝ රාජ්‍යයේ පැතිරීම ඇරැඹි එම්පොක්ස් රෝගයේ නව වෛරස් ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමත් ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් හේතුවෙන් එය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙසේ එම රෝගය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් පවසයි. රෝගය අප්‍රිකානු රටවලත් ඉන් ඔබ්බටත් පැතිර යන ආකාරය කනස්සල්ලට හේතුවක් බව ද වෛද්‍ය ගෙබ්‍රේයේසුස් සඳහන් කර තිබේ.

කොංගෝ රාජ්‍යය තුළ මෙම එම්පොක්ස් රෝගය පැතිර යෑමෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 13,700ක් හා මරණ 450ක් වාර්තා වී ඇති බවත් රෝගය මේ වන විට බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය උණ රෝගයෙන් ආරම්භ වී සමේ ආසාදන, උගුරේ ආසාදනය, සමේ පළු මතු වීම, හිසරදය, කොන්දේ වේදනාව, මාංශපේශිවල වේදනාව, ශරීර ශක්තිය අඩු වීම, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර පසුව එය මාරාන්තික විය හැක. සෑම රෝගීන් 100 කින්ම 4 දෙනෙක් රෝගය නිසා මිය යති. මෙම රෝගය කෙනෙකුගෙන් තවත් අයකුට පැතිර යනුයේ ලිංගික ඇසුරකින්, ආසාදිතයකුගේ සමෙහි ගැටීමෙන්, ආසාදිත පුද්ගලයකු සමග සමීපව කතාබස් කිරීමෙන් හා හුස්ම ගැනීමේදී බව වෛද්‍යවරු පවසති.

එම්පොක්ස් රෝගය මුල් වරට ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 වසරේදීය. එවර මෙම වතාවේ මෙන් රෝගය දරුණුවට පැතිර නොගිය බවත් ජාත්‍යන්තර මට්ටමෙන් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රියාදාමයක් හරහා මෙම රෝගය පැතිරීම පාලනය කර මිනිස් ජීවිත රැසක් බේරාගත හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media