,

වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.

වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.

වෘත්තීය ආචාරධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින්, වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් විෂමාචාර ක්‍රියාවල නිරතවීමේ වරදට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ නියැළීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) නියෝගයක් නිකුත් කළේය.

එම වෘත්තීය විෂමාචාර ක්‍රියාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ, අගතියට පත් දිවුලපිටිය උල්ලපල ශ්‍රී සුගතමහාරාම පුරාණ විහාරයේ වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමිපාණන්ට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙසට ද සෙන්දහැන්දි සරත් ද සිල්වා නමැති එම නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එකී වන්දිය මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවට ද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළ අතර, වගඋත්තරකාර නීතිඥවරයාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසට බලධාරීන්ට ලිඛිතව දැනුම්දෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

විහාරස්ථානයක හිමිනමකට අදාළව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ හා කුරුණෑගල දිසා අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණිලිකාර භික්ෂුවගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීම එකී චෝදනාවට හේතුපාදක වී තිබිණි.

නීතිඥ නගිතා විජේසේකර මහත්මිය වගඋත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ චතුරිකා ඇල්විටිගල මෙනවිය සමඟ ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මහතා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියාය.

ඒ.ජේ.ඒ. අබේනායක

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media