Ceylon Masters බැඩ්මින්ටන් ශූරතාවලිය: ශ්‍රී ලංකාවට පදක්කම් 61ක්

Ceylon Masters බැඩ්මින්ටන් ශූරතාවලිය: ශ්‍රී ලංකාවට පදක්කම් 61ක්

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය පදක්කම් 61ක් දිනා ගනිමින් අවසන් කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පසුගිය දා සමත් විය.

කොළඹ පැවැති මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි වූ අතර එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60ක් ඇතුළත් වීම විශේෂත්වයක් විය.

මෙම තරගාවලියේ අවුරුදු 35න් ඉහළ පිරිමි ඒකල, 35න් ඉහළ කාන්තා යුගල, 40න් ඉහළ කාන්තා ඒකල, 40න් ඉහළ මිශ්‍ර යුගල, 45න් ඉහළ පිරිමි ඒකල, 45න් ඉහළ පිරිමි යුගල, 45න් ඉහළ කාන්තා යුගල, 50න් ඉහළ කාන්තා ඒකල, 50න් ඉහළ පිරිමි යුගල, 55න් ඉහළ පිරිමි ඒකල, 55න් ඉහළ කාන්තා යුගල, 65න් ඉහළ කාන්තා ඒකල, 65න් ඉහළ පිරිමි යුගල, 110 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල, 100 වයස් කාණ්ඩයේ කාන්තා යුගල, 110 වයස් කාණ්ඩයේ කාන්තා යුගල සහ 130 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල තරගවල කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

ඒ අතුරින් රොහාන් ද සිල්වා, රේණු චන්ද්‍රිකා ද සිල්වා, සහන් ප්‍රදීප්, රොෂාන් පද්මකුමාර, මංජුල සම්පත් ප්‍රනාන්දු, විපුලි සෙනෙවිරත්න, උපේන්ද්‍ර පෙරේරා, ක්ලැරන්ස් හෝමර්, දුමින්ද ජයකොඩි, මොහාන් විජේසිංහ, ප්‍රියංකා අබේරත්න, ශ්‍රියානි දීපිකා, මල්ලිකා වඩුගේ, නදීෂා ගයාත්‍රි, හසිත චානක, විජයලක්ෂ්මි පුංචිහේවා, රොහාන් ප්‍රනාන්දු, ලලිත් අමරසේන, සේනක අත්තනායක සහ ක්‍රිෂාන්ත ගමගේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය.

විශිෂ්ට දස්කම් සහ හැකියාවන්, ක්‍රීඩා කෞෂල්‍ය පෙන්නුම් කළ මෙවර තරගාවලියට අතිවිශාල ප්‍රතිචාර ලැබී තිබූ අතර, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, ඇමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11කින් වාර්තාගත අයැදුම්පත් 535ක් ලැබී තිබීම කැපී පෙණුනි.

දින හතරක් පුරා පැවැති මෙම ශූරතාවලියේදී තරග සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් කොළඹ අගනුවර කේන්ද්‍රකර ගනිමින් විශේෂයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ඇතුළු අතිරේක ක්‍රීඩාගාර කිහිපයක තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලයට සිදුවිය.

ජාත්‍යන්තර තරග තීරක ලක්ප්‍රිය එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ඉහළම සුදුසුකම්ලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් තරග විනිශ්චය සිදු කළ අතර හිටපු ජාත්‍යන්තර තරග තීරක අජිත් විජයසිංහ මහතා තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළහ.

තරගාවලියේ ගෞරවනීයත්වය උදෙසා සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබුණි.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media