,

අනුරගේ හෙල්මට් කල්ලියට බලය දුන්නොත් 2022ට වඩා දැවැන්ත ලේ වැගිරීමක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

අනුරගේ හෙල්මට් කල්ලියට බලය දුන්නොත් 2022ට වඩා දැවැන්ත ලේ වැගිරීමක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු ඇතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයි
එබැවින් ඉතාම කල්පනාවෙන් යුතුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු බවද අමාත්‍යවරයා කීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ දිවුලපිටිය, කටාන ප්‍රදේශවල පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මේක අපිට අමුතු වේදිකාවක්. මොකද මේ වේදිකාවේ සියලුම පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් ඉන්නවා. දේශපාලනයේදී අපි කාලයක් එකිනෙකා විවේචනය කරගත්තා. නමුත් ඒ සියලුම එදිරිවාදිකම් අතහැරලා අපි සියලුම දෙනා එකම අරමුණක් වෙනුවෙන් එකට ගමනක් යනවා.

ආර්ථික අර්බුධයත් සමග මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා. අපි තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්වින්ඳා. අපිට ඒ අතීතය මතකයි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන නිසා සමහරු කියනවා ප්‍රසන්න රණතුංග දැන් එක්සත් ජාතික පක්ෂයට බැඳිලා කියල. නෑ.. මම තවම පොහොට්ටුවේ. අද මහින්ද මහත්තයගේ වේදිකාවේ කයිවාරු ගහන්න වීරයෝ ඕනතරම් ඉන්නවා. නමුත් එතුමා 2015 පැරදුණ වෙලාවේ ඔය කවුරුවත් හිටියේ නෑ. මම තමයි එතුමා නැවත දේශපාලනයට ගේන්න පෙරමුණ ගත්තේ. බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා විදියට මගේ නිල නිවසේ තමයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණේ. ජනාධිපතිවරයෙක් පත්කරගෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වුනේ අපේ කැපකිරීම නිසයි.

යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කොවිඩ් වසංගතයෙන් රටත් ජනතාව බේරාගත්තේ. අපිට ඒ අතීතය මතකයි. කොවිඩ් වසංගතයෙන් පසුව ඇතිවුණ ආර්ථික අර්බුධය නිසි පරිදි කළමණාකරණය කර ගන්න එදා මමත් නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට බැරිවුණා. ඒ පළවිපාක තමයි අපි විඳෙව්වේ.

එදා ආර්ථිකය කඩාගෙන වැටුණු රට නැවත ගොඩ ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි එතුමට මේ ජනාධිපතිවරණයේදී කළගුණ සැලකිය යුතුයි. ඉතිහාසයේ රටවල් මීටත් වඩා දරුණු අර්බුධවලට මුහුණ දීල තියෙනවා. ඒ අවස්ථාවලදි දේශපාලනය පැත්තකට දාල රට වෙනුවෙන් මිනිස්සු එකට එකතු වුණා. අපිත් මේ එකතුවෙලා ඉන්නේ ඒ වගේ උදාර අරමුණක් වෙනුවෙන්. අපි ජනාධිපතිවරයාට උදවු කරන්නෙ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නෙමෙයි. එහෙම පුද්ගලික දේශපාන න්‍යායපත්‍රයක් අපිට නැහැ.

රට ගොඩනඟලා, ආර්ථිකය ස්ථාවර කළාම අපි පුළුවන් දේශපාලනය කරන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලන්න. ඒ තියෙන්නෙත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලමයි. මේ රටේ බලය තියෙන්නේ විධායකයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් විධායක ජනාධිපතිවෙලා ඉඳල නෑ. එතුමා හැමදාම හිටියේ දෙවැනි තැන. මේ පාර අවුරුදු දෙකකට ඔහුට විධායක ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් ඉතාම නරක තැනක රට තියෙද්දි. කෙටි කාලයක් තුළ එතුමා තමන්ගේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරල රට ගොඩ ගත්තා. මේ වැල් පාලමේ ඉතුරු ටික යන්න අපිට ඔහුව අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි එකතු වුණේ.

මේ රට හැමදාම ආපස්සට ඇද්දේ ජනතා විමුක්ති පෙරමුණයි. 2022 ගෙවල් ගිනි තියල රටේ මිලේච්ඡත්වය වැපිරුවේ අනුර කුමාර දිසානායකගෙ හෙල්මට් කල්ලියයි. ඒ වගේ කන්ඩායමකට බලය දුන්නොත් මේ රටේ ආයෙමත් ලේ වැගිරීමක් වේවි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් මේපාර ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. අනුර කුමාර හිතාගෙන ඉන්නේ තමන්ගේ සියයට 3 ඡන්ද ගොඩ සියයට 40 -50ක දක්වා වැඩි වේවි කියල. එහෙම වෙන්නෙ නෑ. එක ඡන්දයක් හදාගන්න කොච්චර මැරෙන්න ඕනද කියල දේශපාලනය කරන අපි දන්නවා.

– මාධ්‍ය ඒකකය

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media