කොන්ඩේ හදාගන්න සැලොන් ගිහින් කොන්ඩේ නැතුව රෝහල් ගත වූ මිනුවන්ගොඩ කාන්තාව.

කොන්ඩේ හදාගන්න සැලොන් ගිහින් කොන්ඩේ නැතුව රෝහල් ගත වූ මිනුවන්ගොඩ කාන්තාව.

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහි දී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිස කෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. තිස්පස් හැවිරිදි මෙම විවාහක කාන්තාව සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණාගාරයකට ඉකුත් 30 වැනිදා ගොස් ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත.

රූපලාවණ්‍යාගාර ප්‍රධාන කාන්තාව කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලිය ලෙස ලබාගෙන අනතුරුව කොණ්ඩය සැකසීමට කාන්තාව අසුන් ගන්වා හිස ගල්වන ද්‍රාවණ කීපයක් ගල්වා ඇති බව හෙළිවී තිබේ. මෙසේ හිස ගල්වන ආලේපන යොදා ටික වෙලාවක් යන විට කාන්තාවගේ හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවක් දැනීමට පටන් ගැනීම නිසා ඇය ඒ බව හිසකෙස් සකසමින් සිටි ගැහැනු ළමයින් දෙදෙනාට පවසා ඇත.

පසුව එම ළමයින් දෙදෙනා කාන්තාවගේ හිස සෝදා පිස දැමුව ද ඇති වූ අධික දැවිල්ල හේතුවෙන් කාන්තාව තම හිස අත ගෑමේ දී හිසකෙස් ගැලවී අතට පැමිණ තිබේ. එම කාන්තාව කොණ්ඩය සකස් කරමින් සිටි රූපලාවණ්‍යාගාරයට පැමිණි ඇයගේ ඥාති සොහොයුරියන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අසාත්මිකතාවට පත් කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් එම රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති අතර ඒ වන විටත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය එය ඉබි යතුරු යොදා වසා දමා ගොස් තිබී ඇත. ඇය නිවසින් ද පිටව ගොස් ඇතැයි පැවසේ. රෝහල් ගතකර සිටි කාන්තාව ප්‍රතිකාර ලබා ඊයේ (01) නිවසට පැමිණ ඇති බව ද පොලිසිය කියයි. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.එස්. ජයලත් මහතාගේ උපදෙස් පරිදි මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කීර්ති ප්‍රනාන්දු

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media