ස්වසන රෝග ඇති කරන වෛරස කිහිපයක් ලංකාව පුරා පැතිර යනවා – ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන

ස්වසන රෝග ඇති කරන වෛරස කිහිපයක් ලංකාව පුරා පැතිර යනවා – ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන

මේ දිනවල ස්වසන රෝග ඇති කරන වෛරස කිහිපයක් ලංකාව පුරා පැතිර යමින් පවතී. ඊට මූලික හේතුවක් වන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයයි. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට මෙම වෛරසය ශරීරගත වී දින එකේ සිට හතර දක්වා කාලයක් ගතවේ. උණ, හිසරදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස සහ හතිය සුලභව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වේ. මීට සමාන රෝග ලක්ෂණ ඇති කරන තවත් විෂබීජ රාශියක් ඇත. බෝවීම සිදුවන්නේ ආසාදිතයකුගේ කෙළ බිඳිති මගිනි.

ඉන්ෆ්ලුවෙන්සා (influenza) සහ අනෙකුත් ස්වසන රෝගකාරක වෛරස ඇති කරන රෝගී තත්ත්ව දරුවාගේ වයස අනුව වෙනස් වේ.

අලුත උපන් දරුවන්ට ඇතිවන සෙම තත්ත්ව

අලුත උපන් දරුවන්ට මෙය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ලෙස පෙන්නුම් කරන අතර නාසය සිරවීම සහ කිරි බීමේ අපහසුතා සුලභව දක්නට ලැබේ. එම දරුවන්ට වැඩිමහලු දරුවන් මෙන් නාසය අවහිර වූ විට කටින් හුස්ම ගැනීමට නොතේරේ. එම නිසා මෙවැනි දරුවන්ට ස්වසන අපහසුතා හා මව් කිරි බීමේ අපහසුතා ඇති වේ. පෙර පාසල් හෝ පාසල් යන වයසේ සිටින වැඩිමහල් දරුවන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉන්ෆ්ලුවෙන්සා (influenza) රෝගය, අලුත උපන් දරුවන්ට බෝවීම සිදුවේ.

එවැනි දරුවන්ට වෛද්‍යවරුන් විසින් නාසයේ අවහිරතාවය නැතිවීමට ඖෂධ (සේලයින් බිංදු වැනි) ලබාදෙන අතර, මව්කිරි කෙටි කාලයක් වැඩි වාර ගණනකින් ලබා දීම සුදුසු ය. ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත ගෙන යාම සුදුසුය.

අවුරුදු දෙක දක්වා දරුවන්ට ඇතිවන හතිය වැනි බ්‍රොන්කියෝලයිටිස් (Bronchiolitis) ශ්වසන අපහසුතාවය

මෙම තත්ත්වය මූලික වශයෙන් වෛරස මගින් ඇතිවේ. මුලදී සෙම්ප්‍රතිශ්‍යා කැස්ස තත්ත්වයක් ලෙස ආරම්භ වී පසුව හුස්ම ගැනීමේ අපහසුතාවක් දක්වා වර්ධනය වේ. මුල් දින 5 – 7 කාලයක් ඇතුළත මෙම තත්ත්වය උග්‍ර විය හැකි අතර, එය ස්වසන ආබාධය වැඩිවීමක් ලෙස පෙන්නුම් කරයි (සෙම කැස්ස සමග). ඉන් පසු ඉදිරි දින හෝ සති කිහිපය තුළ කැස්ස තත්ත්වය හා ස්වසන අපහසුතාවය සෙමින් පහව යයි.

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දිගු කාලීනව පවතින හතිය තත්ත්වයක් සෑදී ඇතැයි වරදවා වටහා ගනී. තම දරුවාගේ හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි නම්, දරුවා වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත ගෙන යායුතුය. එහිදී දරුවා රෝහල් ගතකිරීමට ද සිදුවිය හැකිය. මෙම දරුවන්ට මව් කිරි බීමේ හා ආහාර ගැනීමේ අපහසුතාවක් ද ඇති වේ. මෙවැනි දරුවෙක් රෝහල් ගත කිරීමෙන් පසුව ඔක්සිජන් ලබාදීම, ස්වසන ආධාර උපකරණවලට සවි කිරීමට හා සේලයින් ලබා දීමට (ආහාර ගැනීමේ අපහසුතාව නිසා) සිදුවිය හැකිය.

වයසින් අඩු දරුවන්ට (සති කිහිපයක) හා කලින් පවතින ආබාධ ඇති (අඩු මාස ගණනින් බිහි වූ දරුවන්, හෘද රෝග සහිත දරුවන්, වකුගඩු රෝග ඇති දරුවන් වැනි) දරුවන්ට මෙම රෝග තත්ත්වය වඩා දරුණු තත්වයක් දක්වා වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය.

ළමා හතිය තත්ත්වය – (Viral Induced Wheezing/ Asthma)

ඉන්ෆ්ලුවෙන්සා (influenza) වෛරස සමග ඕනෑම වයසක දරුවකුට පළමු වරට හති තත්ත්වයක් පෙන්නුම් කළ හැකිය. මෙවැනි හුස්ම ගැනීමේ අපහසුතා ඇති දරුවන්ගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වන අතර, හෘද ස්පන්දන වේගය ද වැඩි වේ. එසේම ඉළ ඇට පහතින් ඇතුළට යාමත්, ඉළ ඇට අතරින් ඇතුළට යාමත්, බෙල්ලේ පහළින් වළ ගැසීම, නාසය පිම්බීමක් හා ස්වසන ශබ්ද ඇතිවීමත් (කෙඳිරි ගෑම, හතිය ශබ්දය) දැකගත හැකිය.

සමහර දරුවන්ගේ මෙය පළමු හතිය තත්ත්වයක් ලෙස මතුවිය හැකි අතර, කලින් හති සෑදී ඇති දරුවන්ගේ හතිය තත්ත්වය නැවත මතු වීමට ද හේතු විය හැකිය.

හතිය තත්ත්වය උත්සන්න වේ නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යා යුතු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට ද සිදුවිය හැකිය. මෙවැනි හතිය වැළඳුණු දරුවකුට සමහර විට කෙටි කාලයකට ඉන්හේලරයක් භාවිතා කිරීමට සිදුවිය හැකිය.

ඇතැම් අවස්ථාවලදී දෙවනුව ඇතිවන බැක්ටීරියා ආසාදන නිසා නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. ඉහත රෝග ලක්ෂණ ඇති සෑම දරුවකුටම ඉන්ෆ්ලුවෙන්සා (influenza) රෝගය තහවුරු කරන පරීක්ෂණය අවශ්‍ය නොවේ. රෝගය පරීක්ෂණයක් මගින් තහවුරු වූ දරුවන්ට විශේෂිත ප්‍රතිකාර (Oseltamivir) ලබාදීම ද විශේෂඥ වෛද්‍යවරයකු විසින් තීරණය කරනු ලබයි.

පාචනය තත්ත්වය (Watery Diarrhoea)

ස්වසන ආබාධ ඇති කිරීමට හේතුවන විෂබීජම පාචනය තත්ත්වය ඇති කිරීමට ද හේතු වේ. සමහර දරුවන්ට බඩ එළිය මෙන්ම වමනය ද ඇති විය හැකිය. මළපහ දියරමය ගතියෙන් යුක්ත වන අතර සාමාන්‍යයෙන් ලේ මිශ්‍රිත නොවේ. සමහර දරුවන්ට වමනය පමණක් මතුවිය හැකි අතර තවත් සමහරෙකුට බඩේ රිදීමක් පමණක් ඇති විය හැකිය.

පාචනය තත්වය සහිත දරුවන්ට ප්‍රමාණවත් පරිදි දියර වර්ග (කැඳ, තැඹිලි වතුර, පලතුරු යුෂ, ජීවනී, සුප් වැනි දෑ ලබා දිය යුතුය. බඩ එළිය හා වමනය මගින් පිටවන දියර ප්‍රමාණයට සරිලන පරිදි දියර වර්ග පොවා ගත නොහැකි නම් දරුවා රෝහල්ගත කර සේලයින් ලබාදීමට ද සිදුවිය හැකිය.

හන්දි වේදනාව හා ඉදිමීම (Reactive Arthritis)

ස්වසන ආබාධ ඇතිකරන වෛරසයම හන්දි වේදනාව හා ඉදිමීම ඇති කරයි. මෙම හන්දි අමාරු සෙම අමාරුව ඇති අවස්ථාවේ මෙන්ම ඉන් පසු සති කිහිපයක් තුළ දී ද ඇති විය හැකිය. මෙවැනි රෝග ලක්ෂණ ඇති දරුවන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කිරීම වඩා සුදුසුය. වෙනත් බරපතල රෝගයක ලක්ෂණ නොවන බවට වෙන්කර හඳුනාගැනීම ඉතා වැදගත්ය.

සමහර දරුවන්ට මස්පිඬුවල වේදනාව නිසා ඇවිදීමට අපහසුතාවක් ද ඇති විය හැක. වෛරසය මගින් ඇතිවන මෙම හන්දි හා මස් පිඬු ආශ්‍රිත වේදනාව වේදනා නාශක ඖෂධ මගින් දින කිහිපයක් තුළ සමනය වී යයි. එසේ නොවෙන්නේ නම් විශේෂඥ වෛද්‍යවරු විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මස් පිඬු වේදනාව ඇති දරුවන්ට හොඳින් දියර වර්ග පානය කිරීමට සැලැස්වීම සුදුසුය.

මොළයේ උණ තත්ත්වය (Meningitis/ Encephalitis)

කලාතුරකින් සමහර දරුවන් මොළේ උණ තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරයි. මෙවැනි දරුවන් ක්‍රියාකාරී බව අඩුකම, අධික නිදිමත ගතිය මෙන්ම කිසිම ප්‍රතිචාරයක් නොදක්වමින් කෝමා තත්ත්වය ද පෙන්නුම් කළ හැකිය. සමහර දරුවන්ගේ තත්ත්වය පැය කිහිපයක් ඇතුළත කෘතිම ස්වසනය ලබා දෙන තත්ත්වයට වර්ධනය විය හැකිය.

මෙවැනි රෝග ලක්ෂණ ඇති දරුවන් වහාම රෝහල් ගත කළ යුතුය. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබා දිය යුතු අතර ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතයට ද හානියක් විය හැකිය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ, මාධ්‍ය සම්බන්ධීකාරක.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media