යක්කල බැලුම්මහරෙ ස්පා එකකින් රන් බඩු කොල්ලකා තරුණියන්වත් සමූහ දූෂණය කරපු මත් ලෝලීන් 7 දෙනා…

යක්කල බැලුම්මහරෙ ස්පා එකකින් රන් බඩු කොල්ලකා තරුණියන්වත් සමූහ දූෂණය කරපු මත් ලෝලීන් 7 දෙනා…

4ක් අත්අඩංගුවට

යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී දේපොළ කොල්ල කා එහි සිටි සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිර කර ගෙන එම තරුණියන් දූෂණය කළ බව කියන හත්දෙනකුගේ කල්ලියේ සැකකරුවන් සිව්දෙනකු යක්කල පොලිසිය මගින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කල්ලිය තරුණියන් පැහැර ගෙන යෑමට යොදාගත් මෝටර් රථයද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. තරුණියන්ට මරණීය තර්ජන එල්ල කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය පාවිච්චි කළ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන්වන අතර ඔවුහු දෙකටන, වැලිවේරිය, කඩවත ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මෙම සංවිධානාත්මක කණ්ඩායමට ආධාර උපකාර කළ කාන්තාවක ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය පවසන අන්දමට හත්දෙනකු ගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලිය මෙම සම්බාහන මධ්‍යස්ථානයට කඩා වැදී ඇත්තේ පෙරේදා (09 වැනිදා) අලුයම 1.00ට පමණය.

සම්බාහන මධ්‍යස්ථානයේ සිටි තරුණියන්ට මරණීය තර්ජන එල්ල කළ පිරිස ඔවුන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වටිනාකමෙන් යුත් රන් ආභරණ, ජංගම දුරකථන සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ලකා ගෙන ඇත.

පසුව මෙම සංවිධානාත්මක කල්ලිය සම්බාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් අතරින් රූමත් තරුණියන් දෙදෙනකු තෝරා ගෙන ඔවුන් පැහැර ගෙන මෝටර් රථයෙන් මීගහවත්ත ප්‍රදේශයට ගොස් තිබේ.

එම ප්‍රදේශයේ පාළු නිවසකට මෙම තරුණියන් රැගෙන ගිය සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් හත්දෙනා රැය පහන් වන තුරුම තරුණියන් දෙදෙනා සිර කර ගෙන ඔවුන්ට තර්ජනය කරමින් වරින්වර දූෂණයට ලක් කර ඇත.

පසුව ඊයේ පෙරවරුවේදී මෙම පිරිස තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන දොම්පේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබේ.

එම නිවසේ කාන්තාවක සිට ඇති අතර සංවිධානාත්මක පිරිස ඇයට මෙම තරුණියන් දෙදෙනා භාරදී පිටව ගොස් ඇත.

එම කාන්තාව තරුණියන් දෙදෙනා සිය නිවසේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිට ඇති බව පොලිසිය පවසයි. තරුණියන් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙම කාන්තාව විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඊයේ දහවල් නැවත එම නිවසට පැමිණි සංවිධානාත්මක කල්ලිය තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන වැලිවේරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළකට ගෙන ගොස් අතහැර දමා පලා ගොස් ඇත.

මෙම තරුණියන් දෙදෙනා ඊයේ සවස යක්කල පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාෂ්වර ඇතුළු නිලධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරුවන් හත්දෙනකුගේ අතවරයට සහ හිංසනයට ලක්වූ තරුණියන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, පොලිස් අධිකාරි චින්තක පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පැවැත්වෙයි.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media