,

පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…

පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…

2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද ආරම්භ වේ. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත. මෙවර තරගාවලියේ සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ සේන් නදී ඉවුරේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. 2024 ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනකු සහභාගි වේ. මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිවෙළින් මෙසේයි. තරුෂි දිල්සරා කරුණාරත්න (මීටර් 800 – කාන්තා), නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම – කාන්තා), අරුණ දර්ශන (මීටර් 400), කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්න (පිහිණුම්) සහ විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්). මේ පිරිස දැනටමත් පැරිස් නුවර වෙත ගොස් තිබේ.

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කනස්සල්ලට පත්ව සිටින ප්‍රංශ රජය ඔලිම්පික් සමාරම්භක උළෙල සඳහා සහභාගි විය හැකි ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු කර තිබේ. එහිදී මධ්‍යම පැරිසිය හරහා වැටී ඇති සේන් නදිය දිගේ කිලෝමීටර් 6ක (සැතපුම් 3.8) දුරක් එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග ගමන් කරමින් සමාරම්භක උළෙල විචිත්‍රවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුල් සැලැස්ම වූයේ, 600,000ක පමණ ජනතාවක් ගං ඉවුර දෙපසට වී එය නැරඹීම ය.

කෙසේ වෙතත්, රජය දැන් පවසන්නේ ආරාධිතයන් ලක්ෂ 3කට පමණක් ඒ සඳහා අවසර ලබා දී තිබේ. ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව සඳහා ප්‍රංශ රජය සෙබළුන් 20,000ක් සහ පොලිස් නිලධාරීන් 40,000කට වැඩි පිරිසක් යොදවා ඇත. ඔවුන්ට වෙනත් රටවල හමුදා සහ පොලිස් නිලධාරීන් 2,000කගේ පමණ සහය ද ලබා ගනී.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ ඊට බෙලරූස් රාජ්‍යය සහයෝගය ලබා දීම නිසා රුසියාවට හෝ බෙලරූස් රාජ්‍යයට ඔලිම්පික් උළෙල සඳහා තම කණ්ඩායම් සහභාගි කරවීමට අවසර හිමි නොවේ. එම රටවල තරගකරුවන්ට ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට අවසර ලැබෙන්නේ, තම රටේ අනන්‍යතාව ප්‍රදර්ශනය කළ නොහැකි යි යන පදනමිනි. ඔවුන්ට සමාරම්භක උළෙලේ සංදර්ශනය සඳහා සම්බන්ධ වීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් පදක්කම් දිනුවහොත් ඔවුන්ගේ ජාතික ගීය වාදනය කිරීමක් හෝ ඔවුන්ගේ ජාතික ධජ එසවීමක් සිදු නොවනු ඇත. 1984 ඔලිම්පික් උළෙලට ප්‍රතිවාදී ලෙස සෝවියට් සංගමය “මිත්‍රත්ව ක්‍රීඩා” උළෙලක් පැවැත්වූ අතර රුසියාව 2024 දී ද එයම කරනු ඇත. රුසියාව පැරිස් ක්‍රීඩා උළෙල කඩාකප්පල් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරමින් සිටින බවට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

පැරාලිම්පික් උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වෙන අතර, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගි වන තරග ඉසව් 549කින් සමන්විත වේ. මෙවර ඔලිම්පික් උළෙල සඳහා රටවල් 206ක් ද පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 184ක් ද සහභාගි වේ. ක්‍රීඩා උළෙල අතරතුර පැරිසිය වෙත සංචාරකයන් මිලියන 15කට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔලිම්පික් උළෙලේ ප්‍රධාන මලල ක්‍රීඩා ඉසව් පැරිස් නගරයට නුදුරින් පිහිටි ‘Stade de France’ හිදී පැවැත්වේ. ලොව ඕනෑම ක්‍රීඩා ලෝලියකු වැඩි වශයෙන් බලාපොරොත්තු තබා සිටින මීටර් 100 ඉසව්වේ කාන්තා අවසන් මහා තරගය අගෝස්තු මස 04 වැනිදා උදෑසන 12.50ට පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු මස 05 වැනිදා උදෑසන 1.20ට පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිත වේ.

1948 වසරේදී ඩන්කන් වයිට් විසින් පළමු වරට ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු නැවත වරක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමට සමත් වූයේ සුසන්තිකා ජයසිංහ ය. ඇය 2000 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවති ඔලිම්පික් තරගාවලියේදී එම දස්කම දැක්වීමට සමත් වූවාය. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ යන දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියකදී රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය. ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයකු වන තර්ශන් සෙල්වරාජ්ට අවස්ථාව උදාවී තිබිණි. ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයන් 10,000ක් සම්බන්ධ කර ගැනුණි.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සදන්නේ ප්‍රංශයේ ප්‍රතිමාමය සලකුණක් වන අයිෆල් කුලුනේ කැබලිවලින් බව පෙර ප්‍රකාශ කර තිබිණි.

අයිෆල් කුලුනෙන් (Eiffel Tower) ලබා ගත් ඔප දමන ලද සයකොන් යකඩ කැබැල්ලක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හා ඉන් පසුව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෙලේ එල්ලන රන්, රිදී හා ලෝකඩ සෑම පදක්කමක්ම ඇතුළට ගිල්වා තිබෙන බව පැරිස් ඔලිම්පික් සංවිධායකයන් පවසා තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය තරග සඳහා සහභාගි වන වේලාවන් සහ දිනය

විරේන් නෙත්තසිංහ – බැඩ්මින්ටන් පිරිමි කේවල – ජුලි 27 – සවස 2.30

ගංගා සෙනෙවිරත්න – කාන්තා මීටර් 100 පසුපස ආර පිහිනුම් – ජුලි 28 – සවස 2.30

කයිල් අබේසිංහ – පිරිමි මීටර් 100 නිදහස් ආර – පිහිනුම් – ජුලි 30 – සවස 2.30

තරුෂි කරුණාරත්න – කාන්තා මීටර් 800 – අගෝස්තු 02 – රාත්‍රි 11.15

අරුණ දර්ශන – පිරිමි මීටර් 400 – අගෝස්තු 04 – රාත්‍රි 10.35

දිල්හානි ලේකම්ගේ – කාන්තා හෙල්ල විසිකිරීම – අගෝස්තු 07 – දහවල් 1.55

චතුර පමුණුව

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media