ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ මෑත සාර්ව ආර්ථික වර්ධනයන් සහ ආර්ථික ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පීටර් බෲවර් මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර සැබෑ දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු තුනක් ප්‍රසාරණය වීමත් සමඟ ප්‍රකෘතිමත් වීම අඛණ්ඩව සිදුවන බවයි ඔහු එමඟින් සඳහන් කර ඇත්තේ.

2024 පළමු කාර්තුවේදී වසරින් වසර සියයට 5.3 දක්වා මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සියයට 5 ඉලක්කයට වඩා අඩු මට්ටමක පවතින අතර දේශීය ණය ගැනීම් ද පහළ මට්ටමක පවතින බව සඳහන් කරන පීටර් බෲවර් මහතා, 2024 පළමු අර්ධය තුළ, දළ ජාත්‍යන්තර සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.2 කින් වැඩිවී අමෙරිකානු ඩොලර් බිලියන 5.6 දක්වා ළඟා වී ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා තවදුරටත් උත්සාහයන් අවශ්‍ය වන බව ඔහු පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යන ප්‍රධාන නීති දෙකක් සඳහා මෑතකදී ලැබුණු පාර්ලිමේන්තු අනුමැතිය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කරමින්, මූල්‍ය විනය සහ විචක්ෂණශීලී ණය කළමනාකරණය වැඩිදියුණු කරන සන්ධිස්ථානයක් බවයි පීටර් බෲවර් මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ.

මිල ස්ථායිතාව පවත්වා ගැනීම මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මත ද රඳා පවතින අතර බැංකු පනතේ මෑත කාලීන සංශෝධන සහ ඊට අදාළ ක්‍රියාත්මක කිරීමේ රෙගුලාසි මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇති බව සඳහන් කරන පීටර් බෲවර් මහතා මූල්‍ය අංශයට ආර්ථික වර්ධනය සඳහා දායක වීමට ඉඩ සැලසීම සඳහා බලධාරීන් බැංකුකරණය සහතික කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media