,

ආසියානු කුසලානය දිනූ කාන්තා පිලේ විශ්මිට ගම්පහ රත්නාවලියෙන් උපහාර

ආසියානු කුසලානය දිනූ කාන්තා පිලේ විශ්මිට ගම්පහ රත්නාවලියෙන් උපහාර

ආසියානු කාන්තා කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරමින් මෙරටට විශාල කීර්තියක් අත්කරදුන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ විශ්මි රටට මෙන්ම රත්නාවලී බාලිකාවට ද මහත් කීර්තියක් අත්කර දීමට හැකිවීම පිළිබඳ නිහතමානී ආඩම්බරයට පත්වන බව කීවාය. තමා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළ හිටපු විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය සහ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනී ඩිනාලි මෙනෙවිය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කළ සියලුම මහත්ම, මහත්මීන් සහ වත්මන් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බවත් ඇය පැවසුවාය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට තව තවත් ජයග්‍රහණ අත්කරදීමට ජාතික කණ්ඩායමට සිය දායකත්වය උපරිමයෙන් ලබාදෙන බව ද විශ්මි කියා සිටියාය.

විශ්මි ගුණරත්න වෙත තිළිණ ප්‍රදානය කිරීම විදුහල්පතිනී වසන්තා කුමාරි මහත්මිය අතින් සිදු විය. විශ්මිගේ මව ධම්මිකා විජේරත්න මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන පී.එල්. සැම්සන් , කේසානි හේරත්, නිල්මිණි ගුණරත්න, සහකාර විදුහල්පතිනී මාධවී රූපසිංහ මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසුවියෝ මේ අවස්ථාවට එක්වූහ.

අල්ගම කනිෂ්ඨ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්ව රත්නාවලී බාලිකාවට පැමිණි ඇය 6 ශ්‍රේණියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ ක්‍රීඩිකාවකි. ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට දක්ෂතා දක්වන ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත්වූ අතර, මේ වන විට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින්නීය.

ඡායාරූපය – ගම්පහ අතිරේක

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media