සංවර්ධනයේ පළමු ප්‍රයාමය නීරෝගිතාවයෙන් සැරසෙමු.

සංවර්ධනයේ පළමු ප්‍රයාමය නීරෝගිතාවයෙන් සැරසෙමු.

අන් කිසි කලෙකටත් වඩා මෙකල බොහෝ දෙනා හදිසියේම, නොසිතූ ආකාරයට අනපේක්ෂිතව මරු වැලඳ ගනී. වයස් භේදයකින් තොරව හිටිහැටියේම සිදුවන මරණ වාර්තා වීමක් ද මේ වන විට සිදු වේ. ඊට නිසි හේතුවක් මෙතෙක් කිසිවෙකුත් සොයා ගෙන නොමැත. නිසි අධ්‍යයනයක් ද සිදු කර නොමැත. පුද්ගලයන් මේ මරණවලින් මුදා ගැනීමට නම් පුද්ගලයාගේ කායික හා මානසික ශක්තීන් නිසි ලෙස පවත්වා ගැනීම කාලෝචිතය.

එසේ හෙයින් වෛද්‍ය එස්. ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරින් මේ සටහන‍ දක්වමු.

මීට වසර තුනකට පමණ පෙර මෙරට ජනතාවගේ සුවපත්භාවයත් අද සුවපත්භාවයත් අතර දැඩි පරස්පරතාවක් තිබේ. එදා සිටි ජනතාවට වඩා අද සිටින ජනතාවගේ සුවපත්භාවය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතියි. රටක සංවර්ධනය සඳහා ජනතාවගේ නීරෝගිභාවය ඉතා වැදගත්ය. රටක සංවර්ධනය හා ජනතාවගේ නීරෝගිභාවය අතර පවතිනුයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවකි. ජනතාව රෝගී වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රජයට විශාල වියදමක් දැරීමට සිදු වේ. එම නිසා ජනතාවගේ කායික මෙන්ම මානසික සුවය ද සුරක්ෂිත කිරීමට රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබේ. එම වැඩපිළි‍වෙළ ග්‍රාමීය මට්ටමෙන්ම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ද ලෝකයේ වෙනත් රටවලට වඩා ඉහළින් තිබීම විශේෂත්වයකි.

කොවිඩ් – 19 වයිරසය

කවුරුත් නොසිතූ විරූ ලෙස මීට වසර තුනකට පෙර ලෝකය පුරා කොවිඩ් – 19 වයිරසය පැතිරිණි. එම වයිරසයෙන් ශ්‍රී ලංකාවට ද බේරීමට නොහැකි විය. වෙනත් රටවල ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජනතාවට කොවිඩ් වයිරසය වැලඳිණි. වයිරසය ආසාදනය වූ ඇතැම් රෝගීන් මරණයට පත් වූහ. ගැබිනි මවුවරුන්, දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, වයස අවුරුදු 65ට ඉහළ වැඩිහිටියන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන් යනාදී කණ්ඩායම් අවදානම් කණ්ඩායම් ලෙස නම් කෙරිණි. මේ පුද්ගලයන්ට වයිරසය ආසාදනය වුවහොත් මරණය පවා අත්වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ එදා පෙන්වා දුන්නේය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ වැඩපිළිවෙළ රැසක් රට පුරා ක්‍රියාවට නැංවිණි. නව සෞඛ්‍ය උපදෙස් මාලාවන් නිකුත් කෙරිණි. එමෙන්ම ජනතාවට අවශ්‍ය එන්නත් පවා ලබා දීමට රජය පියවර ගන්නා ලදී.

කොවිඩ් – 19 වයිරසය වැලඳී සුවපත් වූවෝ ද බහුතරයක් සිටියහ. මෙම වයිරසය වැලඳීම වැළැක්වීම සඳහා ලෝකයේ රටවල අලුතින් එන්නත් වර්ග කිහිපයක් නිෂ්පාදනය කෙරිණි. එම එන්නත් මෙරටට ද ගෙනැවිත් ජනතාවට ලබාදීම සිදුකෙරිණි. ඇතැම් විට එන්නත ගත්ත ද වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නොහැකි විය. කෙසේ වෙතත් රටේ බහුතරයක් පිරිස කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම සිදු කළේය. මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් ලෝකයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. කොවිඩ්-19 වයිරසය යනු ලෝකයම මුහුණ දුන් අලුත් අභියෝගයකි. ලොව ධනවත්ම රටවල් පවා දණින් වැට්ට වූ කොරෝනා වයිරසය නිසා ලක්ෂ සංඛ්‍යාත ජීවිත ගණන අහිමි විය. එම නිසා ජන ජීවිතය ආරක්ෂා කිරීමේ අරමුණෙන්ම අලුත් එන්නත් නිෂ්පාදනයට ලෝකයේ රටවල් යොමු විය. එසේ නිෂ්පාදිත කොවිඩ් වයිරසය මර්දනය සඳහා වූ අලුත් එන්නත් ශ්‍රී ලංකාවට ද ආනයනය කර ජනතාවට නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා රජය නොපසුබට විය. ජනතාවගේ ආරක්ෂාව උදෙසාම රජය එම කාර්යය සිදු කෙරිණි.

හදිසි මරණ

නමුත්, වර්තමානය වන විට කවර කලෙකටත් වඩා ජනතාව විවිධ රෝගයන්ට පාත්‍ර වීම ඉහළ ගොස් ඇත. ඇතැමුන්ගේ රෝග ලක්ෂණ පවා සොයා ගැනීමට නොහැක. එසේම ඇතැමුන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. එසේම තරුණයන් අතර මරණ වාර්තා වීම ඉහළ ගොස් තිබේ. හෘද රෝග හෝ වෙනත් රෝග නිසා මරණයට පත්ව ඇති සංඛ්‍යාව ග්‍රාමීය මට්ටමෙන් පවා ඉහළ ගොස් තිබේ. ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. මීට වසර තුනකට පමණ පෙර ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බවට බොහෝ දෙනාගේ අදහසක්ද වේ. හෘද රෝග, මොළය ආශ්‍රිතව ස්නායු, ප්‍රතිශක්තිය අඩුකම නිසා නිතර ලෙඩවීම, මහන්සිය, හතිය වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වාර්තා වීම වැඩි වී තිබේ. මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැත. මේ සඳහා හේතු පුළුල් ලෙස සොයා ගත යුතුය. ප්‍රතිශක්තිය අඩු වීම සොයා ගත හැක්කේ පරීක්ෂණ මඟිනි. වෙනදාට වඩා පුද්ගලයන් ශ්වසන රෝගවලට ගොදුරු වන බවට ද ප්‍රකාශ වේ. පරිසරය, ආහාර ගැටලු යනාදිය ඒ සඳහා බලපෑ හැකිය. බටහිර වෛද්‍යවරුන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් ද මෙරට සිටියි. එවැනි වෛද්‍යවරයකු ළඟට ගොස් තමාට ඇති වූ රෝගය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කර, රෝග තත්ත්වයන්ට අදාළ ප්‍රතිකාර ලබා ගත හැකියි.

රටක ශ්‍රම බළකාය ලෙස වයස අවුරුදු 25 සිට 60 අතර පුද්ගලයන් හැඳින්වුවහොත් එම පිරිස මෙම රෝග තත්ත්වයන්ට ගොදුරු වීම ඉහළ ගොස් තිබේ. මානසික ශක්තීන් වෙනස් වීම ද මීට හේතු වී තිබේ. කායික හා මානසික දුර්වලතාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටම බලපෑමක් කරයි. සිරුරේ ප්‍රතිශක්තිය අඩු වුවහොත් පුද්ගලයා නිතර නිතර රෝගාබාධවලට ගොදුරු වීම වැළැක්විය නොහැකියි. ඖෂධ භාවිතයට අමතරව එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ද මිනිසාට සුවපත්භාවය ලබා ගත හැකිය. ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණයට නින්ද, ජලය, ව්‍යායාම, කායික සැහැල්ලුභාවය, පරිසරය, සිතුවිලි රටාව යනාදිය බලපායි. මීට අමතරව අධ්‍යාත්මික නීරෝගිකම ද බලපෑමක් සිදු කරයි.

ප්‍රතිශක්තිය වර්ධනයට නින්ද

ප්‍රතිශක්තිය අඩුකම, වෙනදා මෙන් ශරීරයට සුවපහසුවක් නොදැනීම, සිරුරේ යම් යම් වේදනාවන් මතු වීම යනාදී රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් විසි තිස් දහසක් පමණ වාර්තා වී තිබේ. ඔවුන් සමඟ කතාබහ කරන විට හෙළි වූ දෙයක් වනුයේ වසර දෙක තුනක සිට ඔවුන්ට මේ රෝග ලක්ෂණ පැමිණි බවය. උදෑසන අවදි වීමේ පටන් චර්යා රටාව වෙනස් කර ගැනීමෙන් මෙම රෝග ලක්ෂණ යම් තරමකට හෝ මර්දනය කළ හැකිය. තමන්ගේ චර්යා රටාව පොතක සටහන් කිරීම වැදගත් වේ. එම ලිවීම තුළ තමන්ට මඟ හැරෙන්නේ කුමක්ද කියා අදහසක් ගෙන අතපසු වූ දෙය මීළඟ දිනයේ සාක්ෂාත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස නිසි ලෙස ජලය පානය කර නොමැති බව එමඟින් අවබෝධ කර ගත හැක. මීළඟ දිනයේ නිසි ලෙස ජලය පානයට එම ලිඛිත සටහන වැදගත් වනු ඇත.

ප්‍රතිශක්තිය වර්ධනය සඳහා නින්ද විශේෂයෙන්ම බලපායි. වැඩිහිටියෙකුගේ සහ කුඩා දරුවෙකුගේ නින්ද අතර වෙනසක් පවතියි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකු පැය හය හතක්වත් නිදා ගත යුතුය. වෙහෙසට පත් වූ ශරීරය සාමාන්‍ය තත්ත්වයට ගැනීමට නින්ද අවශ්‍ය වේ. නින්ද ලබා ගැනීමේදී එය කරදරකාරී නින්දක් නොවිය යුතු අතර සුවදායක නින්දක් විය යුතුය. නින්දට යන විට කුමන ප්‍රශ්නයක් පැවතියත් ඒවා අමතක කළ යුතුය. සුවදායක නින්දක් ලබා ගැනීම ද ජීවිතයට වැදගත්ය. අන්තර්ජාලය සමඟ ඇතැමුන් නින්දට යයි. එය යහපත් නොවේ. ඇතැම් පිරිස් ධනාත්මක කරුණු තිබෙන පොතක් කියවයි. ඇතැම් පිරිස් චිත්ත රූප මැවීමක් සිදු කරයි. පාදයේ සිට හිස දක්වා බලා සැහැල්ලු සිතින් නින්දට යනවා නම් එය යහපත්ය. අවසන් පැයේ සැහැල්ලුව සිට නින්දට යා යුතුය. ලෝකයේ මිනිසුන්ට වැඩ කිරීමට තිබෙනුයේ පැය 24කි. අනවශ්‍ය වැඩ නොකර අවශ්‍ය වැඩ පමණක් කරන්නේ නම් අපට මේ පැය ගණන එදිනෙදා කාර්යයන් සඳහා ප්‍රමාණවත් වේ.

ජලය පානය සහ ව්‍යායාම

සිරුරට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය ද ශරීර ශක්තිය පවත්වා ගැනීමට වඩාත් වැදගත් වේ. වකුගඩු රෝගියෙක් නම් ජලය පානයේ දී වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. සාමාන්‍ය පුද්ගලයෙකු නම් සාමාන්‍ය ලෙස ජලය පානය කළ යුතුය. මුත්‍රාවල පැහැය අනුව අප ගන්නා ජලය ප්‍රමාණය, සිරුරට ප්‍රමාණවත් ද යන්න දැන ගත හැකිය. මුත්‍රාවල පැහැය කහ පැහැති හෝ තද කහ පැහැති නම් ගන්නා ජලය ප්‍රමාණවත් මදි බව ඉන් අදහස් වේ. මුත්‍රාවල පැහැය, ජලයේ පැහැය ගන්නේ නම් ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණවත් බව ඉන් අදහස් වේ. පාසල් ළමුන් විසි තිස් දාහක් පමණ යොදා ගෙන කළ විමසුමකදී අනාවරණය වූයේ, ඔවුන් නිසි ප්‍රමාණයට ජලය පානය නොකරන බවය. තමන්ට දැනෙන ප්‍රමාණයට ජලය පානය කළ යුතුය. උල්පත් ජලය පානයට හැකි නම් ඉන් නිසි ගුණය ලබා ගත හැකියි. පිරිසිදු උල්පත් ජලය ගන්නේ නම් සිරුරට ඉතා හොඳ සුවයක් දැනේ. ඇතැම් පුද්ගලයන් පැණි බීම වැනි විවිධ පාන වර්ග අධිකව භාවිතයට හුරුව සිටියි. එය සිරුරට හානියක් විය හැකියි. ජලය පානය සඳහා පිපාසය ඇති වන තෙක් ඇතැමුන් සිටියි. එය නොකළ යුතුය. පිපාසය ඒමට පෙර අවම ලෙස පැයකට වරක්වත් ජලය පානයට හැකි නම් එය යහපත්ය. ජලය නිසි ලෙස පානය කරන්නේ නම් කාලයක් තිස්සේ පැවැති හිසරදය වැනි රෝග පවා සුවපත් කර ගත හැකියි. උදෑසන අවදි වූ විට මඳ උණුසුම් ජලය පානය කළ හැකි නම් එය සිරුරට සුවදායක වේ.

සෑමදාම උදෑසන පැය භාගයක්වත් ව්‍යායාම කළ හැකි නම් ශරීර සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට එය හේතු වේ. උදෑසන ව්‍යයාම කළ විට දවස ප්‍රබෝධවත්ව ගත කළ හැකිය. රටේම ජනතාව ව්‍යායාම කිරීමට නැඹුරු වන්නේ නම් නීරෝගිමත් ජීවිතයකට හේතු වේ. ආහාර රටාව ගැන ද උනන්දු විය යුතුය. රසකැවිලි ගැනීමට බහුතරයක් කැමැත්තක් දක්වයි. තෙල්, ලුණු, සීනි අධික ආහාර වර්ග ගැනීමට පුද්ගලයන් කැමැත්තක් දක්වයි. බෝ නොවන රෝග ගණනාවකට ආහාර රටාව බලපායි. දියවැඩියාව, කොලොස්ටරෝල්, හෘද රෝග, අධි රුධිර පීඩනය යනාදී බෝ නොවන රෝගවලට ගොදුරු වීමට එම ආහාර රටාව බලපෑම් කරයි. මෙම රෝග තත්ත්වයන් මර්දනය සඳහා ද පුද්ගලයන්ගේ සිරුරට ව්‍යායාම අත්‍යවශ්‍ය කරුණකි.

චර්යා රටාව

පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය නිසි ලෙස පවත්වා ගැනීමට පරිසරය ද බලපෑමක් සිදු කරයි. පරිසරය ආකාර දෙකකින් බලපෑමක් සිදු කරයි. මානව හා භෞතික පරිසරය එම ආකාර දෙක වේ. නි‍ෙවසේ පරිසරය, කාර්යාලයේ පරිසරය යහපත් විය යුතුය. භෞතික ලෙස අපිළිවෙළ පරිසරයක් තිබේ නම්, එය මානසික හා කායික ලෙඩ රෝගවලට බලපායි. අවට සිටින පුද්ගලයන්ගේ චර්යා රටාවන්ද මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් සිදු කරයි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහිත මිනිසුන් නිතර අනෙක් අයගේ සිත පෑරීම සිදු කරයි. එවැනි පුද්ගලයන් සිටින පරිසරයක ජීවත් වන්නේ නම් පුද්ගලයාගේ මනස අපිරිසිදු සිතුවිලිවලින් පිරෙයි. එමඟින් රුධිරය අපිරිසිදු වීමක් සිදු වන අතර එය කායික හා මානසික නීරෝගිභාවයට ගැටලු ඇති කරයි. එවැනි පුද්ගලයන්ගෙන් ඈත්ව සිටීමෙන් ජීවිතයේ වෙනසක් ඇති වේ.

ලෝකයේ ස්වාභාවික දේවලට මේ වන විට ඉල්ලුමක් ලැබී තිබේ. එහිදී කාබනික ආහාර, ශාකසාර ඖෂධ යනාදිය සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමට පුද්ගලයන් පෙලැඹී ඇත. රෝගීන්ට අවශ්‍ය වනුයේ නීරෝගි වීමටය. වෛද්‍යවරුන්ට අවශ්‍ය වනුයේ රෝගීන් සුවපත් කිරීමටය.

සන්ධ්‍යා කරුණාරත්න

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media