,

එකඟතා ක්‍රියාත්මක නොකළහොත් ජනවාරි 23 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග – GMOA

එකඟතා ක්‍රියාත්මක නොකළහොත් ජනවාරි 23 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග – GMOA

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් 2026 ජනවාරි 23 දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.

GMOA විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළ සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන් මුහුණ දෙන සැබෑ ගැටලු සඳහා කෙටි කාලීන හෝ දිගු කාලීන විසඳුම් ඇතුළත් නොවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ දැඩි නොසන්සුන්තාවයක් සහ විරෝධය මතු වූ බවයි.

එම තත්ත්වය මත GMOA විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කළ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් ලිඛිත එකඟතා මත එම ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවා තිබුණි.

එම එකඟතා අතර
🔹 සියලු වෛද්‍ය කාණ්ඩ ඇතුළත් කරගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම
🔹 DAT දීමනාව යාවත්කාලීන කිරීම
🔹 22/99 චක්‍රලේඛයට අනුව ප්‍රවාහන ගැටලු විසඳීම
🔹 අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
🔹 පර්යේෂණ දීමනා ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
ඇතුළත් බව GMOA පවසයි.

කෙසේවෙතත්, එම එකඟතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් 2026 ජනවාරි 7 දින පැවති GMOA හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී, අවශ්‍ය නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට විධායක සභාවට බලය පැවරීමට ඒකමතිකව තීරණය කර ඇත.

පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ගැටලු විසඳීමට අදාල සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බවට අමාත්‍යවරයා එකඟ වූ බව GMOA සඳහන් කරයි.

ඒ අනුව 2026 ජනවාරි 13 දින පැවති GMOA විධායක සභා රැස්වීමේදී, ගැටලු විසඳීම සඳහා තවත් දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට තීරණය කර ඇති අතර, එම කාලය තුළ විසඳුම් නොලැබුණහොත් ජනවාරි 23 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව GMOA අවධාරණය කරයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට GMOA පසුබට නොවන බවද එම නිවේදනයේ අවසානයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media