ශ්‍රී ලංකාව තුළ මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව, ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි හිමිකරුවන්, අත්හැර දමා ඇති ඉඩම් හිමිකරුවන් සහ සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර ඇත.
අදාළ චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, රාජ්‍ය ආයතන පරිශ්‍ර මදුරුවන් බෝවන ස්ථානවලින් තොර බවට සහතික කිරීම එම ආයතන ප්‍රධානීන්ගේ සෘජු වගකීමක් බව අවධාරණය කර තිබේ.
රාජ්‍ය ආයතනවලට විශේෂ වගකීම්
සෑම රාජ්‍ය ආයතනයකම ඩෙංගු මර්දන කමිටුවක් පත් කළ යුතු අතර, එම කමිටු විසින් මාසික ප්‍රගති වාර්තා අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
මදුරුවන් බෝවීමට වැඩි අවදානමක් පවතින මාර්ග දෙපස කානු පද්ධති පිරිසිදු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන ආයතනවලටද උපදෙස් ලබා දී ඇත.
පාසල්වල ඩෙංගු මර්දනය අනිවාර්යයි
පාසල්, පිරිවෙන්, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල පරිශ්‍ර පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනවල මිනිත්තු 30ක කාලයක් වෙන්කර පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
එමෙන්ම සිසුන්ගේ සංඛ්‍යාව අනුව ඩෙංගු මර්දන කමිටු ස්ථාපිත කිරීම ද අනිවාර්ය කර තිබේ.
ඒකාබද්ධ වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ මහජන ආරක්ෂක කමිටු, ස්වේච්ඡා සංවිධාන, සෞඛ්‍ය අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඒකාබද්ධ වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඩෙංගු මදුරුවන් බෝවන පරිදි ඉඩම්, ගොඩනැගිලි හෝ පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව සෞඛ්‍ය ආඥා පනත සහ පළාත් පාලන නීති යටතේ කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු වසංගත තත්ත්වය උත්සන්න වන අවස්ථාවලදී ජාතික සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින මානව හා භෞතික සම්පත් කඩිනමින් ලබාදීමට සියලු රාජ්‍ය ආයතන බැඳී සිටින බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර ඇත.











Leave a Reply