ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) භාණ්ඩ සහතික ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම 2026 ඔක්තෝබර් මස 8 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විශේෂ විධානය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS භාණ්ඩ සහතික ලාංඡනය සහිත නිෂ්පාදන පමණක් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර හිමි වේ.
මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කරන සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කරන සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම, මෙරටට ආනයනය කරන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ අලෙවි කිරීම ද තහනම් වේ.
පාරිභෝගිකයන්ට ගුණාත්මක හා ආරක්ෂිත නිෂ්පාදන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ ප්‍රමිතීන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනාගතයේදී සිදුකරනු ලබන සංශෝධන සඳහාද මෙම නියෝගය එකසේ බලපැවැත්වෙන බව ද දැනුම් දී තිබේ.











Leave a Reply