,

මාර්ගගත ව්‍යාපාර නියාමනයට නව අවධානයක් – නීතිගත වෙළෙඳුන් ආරක්ෂා කළ යුතුයි – වසන්ත සමරසිංහ

මාර්ගගත ව්‍යාපාර නියාමනයට නව අවධානයක් – නීතිගත වෙළෙඳුන් ආරක්ෂා කළ යුතුයි – වසන්ත සමරසිංහ

මාර්ගගත (Online) ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනයට ලක් කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 9 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම හේතුවෙන් නීත්‍යනුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් අසාධාරණ තරඟකාරී තත්ත්වයකට මුහුණ දෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළ මෙවැනි අවිධිමත් ක්‍රමවේදයන් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 780කට ආසන්න මුදලක් රටින් පිටවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

දැනට නිල වශයෙන් ලියාපදිංචි වී ඇති ව්‍යාපාර සංඛ්‍යාව 65,000ක් පමණ වන බවට උපකල්පනය කළ හැකි වුවද, ඇතැම් ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ බෙදාහරින්නන්ගේ සංඛ්‍යාව පමණක් ලක්ෂ දෙක ඉක්මවන බවද ඔහු පැවසීය.

ඒ අනුව ග්‍රාමීය ප්‍රදේශවල කුඩා සිල්ලර වෙළෙඳසල්වල සිට ජාතික මට්ටමේ B2C (Business to Consumer) ව්‍යාපාර දක්වා විශාල පිරිසක් තවමත් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.

මාර්ගගත ව්‍යාපාර ක්ෂේත්‍රය නියාමනය කිරීම තුළින් සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇති කරමින් රජයේ ආදායම් ශක්තිමත් කිරීම සහ නීත්‍යනුකූල ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media