,

“මාරිස් මෝටර් රැළේ 2025” – ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණයට මීගමුවේ විශිෂ්ට උත්සවයක්

“මාරිස් මෝටර් රැළේ 2025” – ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණයට මීගමුවේ විශිෂ්ට උත්සවයක්

මෙරට කීර්තිමත් සහ ජනප්‍රියතම කතෝලික පාසලක් ලෙස නම් දැරූ මීගමුව මාරිස්ටල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සිය අභිමානය සනිටුහන් කරමින් 18 වරටත් සංවිධානය කරමින් ඉදිරිපත් කළ ” මාරිස් මෝටර් රැළේ-2025 (MMR-2025) තරඟය පසුගිය 26 වැනි දින (26/07/2025) පැවැත්විණි.

එදින උදෑසන මාරිස්ටෙල්ලා විද්‍යාලය අභියසින් ඇරඹී මෙම තරගය සඳහා මෙවර කාර් ,ඩවල් කැබ්ස්, ජීප් රථ ආදී රථවාහන 50ක් යටතේ තරඟකරුවන් 50 දෙනෙකු සහභාගී වූහ. කිලෝමීටර 100 ක පමන දුරප්‍රමාණයකින් සමන්විත වූ මෙම තරගය සඳහා තරගකරුවන් සමඟ ඔහුට මග පෙන්වන සහයකයෙකු ද එම රථය තුළ ගමන් කළ යුතුව ඇත. ඒ අනුව තරඟ සංවිධායකයන් ලබාදෙන ස්ථානයට කෙටි කාලයක් තුළදී තරඟ නීති සහ මාර්ග නීති රීති කඩ නොකර ,අවශ්‍ය ස්ථානය සොයා කෙටි කාල පරාසයක් තුළ ධාවනය කරන තරඟකරුවන් ට ජයග්‍රහණය හිමිවනු ඇත. ඒ අනුව මෙවර තරඟය සඳහා ප්‍රථම ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා මුදල්මය හා සංචාරක හෝටල්වල නිවාඩු පැකේජයන් යනාදී වටිනා ත්‍යාගයන් පිරිනැමීණි.

මෙම තරගයේ ආරම්භක අවස්ථාවට මාරිස්ටෙල්ලා විද්‍යාලීය විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදර තුමා සහ එහි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ මේ සඳහා අනුග්‍රහකත්වය දක්වන ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගි වූහ.

මෙම තරඟයේ ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සිදුවූයේ මීගමුව, ඒත්තුකාල ” ගෝල්ඩි සෑන්ඩ්” හෝටලය ආශ්‍රිත වෙරළ තීරයේදී එදින රාත්‍රී පැවැති දැවැන්ත සංගීත ප්‍රසංගය අතරතුරේදීය. එම සංගීත ප්‍රසංගය සඳහා විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙකු ඇතුළු අතිවිශාල රසික පිරිසක් සහභාගි වූහ. එහිදී තරඟකරුවන් 50 දෙනෙකු අභිබවමින් මාරිස් මෝටර් රැළේ 2025 තරගයේ ප්‍රථම ස්ථානය හෙවත් මෙහි ශූරයන් බවට පත් වූයේ රොෂේන් කාවින්ද සහ ඔහුට මඟ පෙන්වන සහායකයා වු අෂාන් මහේල යන දෙදෙනායි. මෙහිදී ඔවුන් හට රුපියල් ලක්ෂ 03 ක මුදල් ත්‍යාගයක් සහ ” සීසන්ස් ට්‍රැවල්ස් ” අනුග්‍රහයෙන් මැලේසියාවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත් 02 ක් පිරිනැමිණි. දෙවන ස්ථානය ජයග්‍රහණය කළේ කෙනත් ඩේවිඩ් සහ සහයක නුවන් මෙලෝ යන දෙදෙනා වන අතර දිනෙත් ප්‍රනාන්දු සහ සහයක විශාන්ත ප්‍රනාන්දු යන දෙදෙනා මෙම තරගයේ තෙවන ස්ථානය ජයග්‍රහණය කළහ.

මෙම තරඟය සඳහා සහභාගි වූ පාසල් ශිෂ්‍යයකු වන විදුෂ්ක අබේකෝන් සහ ඔහුගේ සහයක අර්ජුන ජයසිංහ යන දෙදෙනාටද මෙහිදී විශේෂ ත්‍යාගයක් පිරිනමන ලදී.

මෙම ත්‍යාග පිරිනැමීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාරිස්ටල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ පසුගිය කාලයේ මීගමුව නැමැති ලොව ප්‍රකට සංචාරක පුරවරයට සැලකිය යුතු මට්ටමකට විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය අහිමි වී ගොස් ඇති බවයි. එලෙස අහිමි වුණු විදේශීය සංචාරක ආකර්ෂණය නැවත වරක්ම මීගමුව තුළ පෙර නොවූ විරූ ලෙස ස්ථාපිත කිරීම සඳහා මෙවර මාරිස් මෝටර් රැ⁣ළේ 2025 තරඟයට සමගාමීව ක්‍රියාත්මක වූ “නිගම්බෝ ටුගෙද(ර්) පෙස්ටීවල්” වැඩසහන තුළින් ද සුවිශාල පිටුවහලක් ලැබූ බව ඔහු මෙහිදී අවධාරණය කළේය ඒ නිසා මෙය ආරම්භයක් පමණක් බවත් ඉදිරි කාලයේදී ද මීගමුව සතු හැමිලටන් ඇළ, මීගමුව කලපුව සහ මීගමු ලන්දේසි කොටුව වැනි ඓතිහාසික උරුමයන් රැකගනිමින් , ඒවා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් මීගමු පුරවරයට අහිමි වී ගිය විදේශ සංචාරක ආකර්ෂණය යළි යළිත් ස්ථිර ලෙස හිමිකර දීමට ඉදිරි කාලයේදීත් මාරිස්ටෙල්ලා ආදි ශිෂ්‍ය සංගමය උත්සුක වන බවත්, එලෙසම ඒ සඳහා කැපවන බවත් ධම්මික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. එලෙසම සංචාරක ආකර්ෂණය වැඩි වැඩියෙන් මීගමු පුරවරය වෙත ලබා ගැනීමට, ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මට්ටමේ සංගීතමය උළෙලක් (International Music Festival) මාරිස් මෝටර් රැළේ තරඟයට සමගාමීව පැවැත්වීමටද කටයුතු සංවිධානය කරන බව ධම්මික ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සටහන: තුෂාර රොහාන් ප්‍රනාන්දු
ඡායාරූප: කපිල / චින්තක / තුෂාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media