අයහපත් කාලගුණයෙන් පසු මිනුවන්ගොඩින් දින 23ක් තුළ ඩෙංගු රෝගීන් 35ක්

අයහපත් කාලගුණයෙන් පසු මිනුවන්ගොඩින් දින 23ක් තුළ ඩෙංගු රෝගීන් 35ක්

පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළින් දින 23ක් ඇතුළත ඩෙංගු රෝගීන් 35දෙනකු වාර්තා වී ඇති බව මිනුවන්ගොඩ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතා පවසයි.

මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වීමක් බවත්, පත්තඩුවන ප්‍රදේශයේ එකම පවුලක සාමාජිකයන් හතර දෙනකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බව තහවුරු වූ බවත් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ පත්තඩුවන ප්‍රදේශයෙන් බවද පැවසීය.

මෙලෙස රෝගීන් වාර්තා වන්නේ මැදි වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ සහ අවට ප්‍රදේශවල රැකියා කරන අය බවත්, එම රැකියා කරන නගර හා ප්‍රදේශ තුළදී රෝගය ආසාදනය වී ඇති බවට සැක කරන බවත් සඳහන් වේ.

මේ අතර ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ධූමයන කටයුතු සහ මදුරු බෝවන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂා මේ වන විටත් සිදුකරන බවද, මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් දඩ සහ නඩු පැවරීම සිදුකරන බවද අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගී තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, මහජනතාව තම නිවාස, ගෙවතු සහ සේවා ස්ථාන පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media