,

දරුණු මානසික රෝග ඇති තරුණ පිරිමින්ගෙන් 50%ක්ම ගංජා හෝ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්

දරුණු මානසික රෝග ඇති තරුණ පිරිමින්ගෙන් 50%ක්ම ගංජා හෝ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්

රජරට විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය අමිල ඉසුරු කියයි

දරුණු මානසික රෝගයන්ගෙන් පෙළෙන තරුණ පිරිමින්ගෙන් සියයට 50කට ආසන්න පිරිසක් ගංජා හෝ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානසික සෞඛ්‍ය අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී, මානසික සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිල ඉසුරු මහතා පවසයි.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී නේවාසිකව ප්‍රතිකාර ලබාදිය යුතු පිරිස සියයට 10ක් පමණ වන අතර අනෙක් සියයට 90කට ප්‍රතිකාර ලබාදිය හැක්කේ ගෘහස්ථව හා සමාජය තුළ සිටියදී බවද ඔහු සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 1 සිට 8 දක්වා යෙදීම නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පසුගියදා (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ තරුණයන් එයින් මිදීම සඳහා නිරන්තරයෙන් උත්සාහ කරන බවයි.

මත්ද්‍රව්‍ය භාවිතය කරන පුද්ගලයන් අතර නිරන්තරයෙන් භාවිත කරන අය මෙන්ම අවස්ථානුකූලව භාවිත කරන අයද සිටින බවද ඔහු පැවසීය.

එසේම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ ඇතැම් පුද්ගලයන් කිසිදු වෛද්‍ය උපදේශයක් හෝ ප්‍රතිකාරයක් නොමැතිව තමන්ගේම උත්සාහයෙන් එයින් මිදෙන අවස්ථාද තිබෙන බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් සැලකිය යුතු පිරිසක් වෛද්‍ය උපකාර ලබාගැනීම සඳහා වෛද්‍යවරුන් වෙත පැමිණෙන අතර එවැනි අවස්ථාවලදී උපදේශන සහ ප්‍රතිකාර මඟින් ඔවුන් ගලවා ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media