,

මරඳගහමුල සහල් ගබඩා දැන් සහලින් පිරෙයි – අමාත්‍ය වසන්ත සමරසිංහ

මරඳගහමුල සහල් ගබඩා දැන් සහලින් පිරෙයි – අමාත්‍ය වසන්ත සමරසිංහ

රජයේ සහල් තොග වැඩිවීමත් සමඟ වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීමට හැකිවූ බව සඳහන්

මෙරට සහල් මිල තීරණය කිරීමේ ප්‍රධාන වෙළෙඳපොළක් ලෙස සැලකෙන මරඳගහමුල ගබඩා සංකීර්ණය මේ වනවිට සහල් තොගවලින් පිරී ඇති බව වෙළෙඳ, වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා රජයේ සහල් තොග ගබඩා කර ඇති මරඳගහමුල සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සතු ගබඩා නිරීක්ෂණයටද එක්වූ අතර, වසර 13ක කාලයක් තුළ එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා නොකළ මෙම ගබඩාවන් දැන් සහලින් පිරී තිබීම ජයග්‍රහණයක් බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ කුරුණෑගල වැනි වී වගා කරන දිස්ත්‍රික්කවල සිට සහල් මෝල් හිමියන් සිය නිෂ්පාදන මරඳගහමුල සහල් වෙළෙඳපොළ වෙත රැගෙන එන අතර, කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල තොග වෙළෙඳුන් දෛනිකව එහිදී සහල් මිලදී ගැනීමට පැමිණෙති.

සහල් සැපයුම් දාමයේ තීරණාත්මක ස්ථානයක් වන මෙම වෙළෙඳපොළ තුළ රජයේ ගබඩා පද්ධතියක් පවතින අතර 2013 වසරේ ඒවා ඉදිකර තිබුණද මේ වසර දක්වාම එය රජය විසින් භාවිතයට ගෙන නොතිබූ බව සඳහන් වේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වී අළෙවි මණ්ඩලය සහ ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඒකාබද්ධව ගොවීන්ගෙන් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ 2025 යල කන්නයේදී මෙට්‍රික් ටොන් 50,000කට ආසන්න වේලන ලද වී තොගයක් රජයට එක් රැස් කර ගැනීමට හැකිව ඇත.

එම වී තොග රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මගින් සහල් බවට පත් කර ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා මෙම ගබඩාවල ගබඩා කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩපිළිවෙළ හරහා කැකුළු සහල් රුපියල් 200ට අඩු මිලකටත්, නාඩු සහල් රුපියල් 210 – 220ට අඩු මිලකටත් තොග මිල පාලනය කිරීමට හැකිව ඇති බවද ඔහු සඳහන් කළේය.

තවද දිනකට මෙට්‍රික් ටොන් 300කට වැඩි සහල් ප්‍රමාණයක් රජයේ ගබඩා වෙත එක්වෙමින් වෙළෙඳපොළට නිකුත් කරන බවත්, එම සහල් සිල්ලර වෙළෙඳසැල්, සමූපකාර හා ලංකා සතොස මගින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජය සතුව ප්‍රමාණවත් සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේදී සහල් මිල ඉහළ යාමක් සිදු නොවන බව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media