“ලස්සන ජීවිතයක්, මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ක්‍රියාවලියට සෘජුවම දායකත්වය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල උපදේශන නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ පළමු වැඩමුළුව (14) වෙනිදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, රජය මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ක්‍රියාවලියට සෘජුවම දායක වන පුනරුත්ථාපන කාර්යාංශය මගින් සංවිධානය කර ඇත.
මෙහි ප්‍රධාන අරමුණ වූයේ — රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල මට්ටමින් මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව එක් ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව දිරියෙන් ඉස්මතු කිරීමයි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුකා චාමලී පෙරේරා මහත්මියන් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ.
මෙම වැඩමුළුව දිස්ත්‍රික් මට්ටමින් රටපුරා පවත්වා ගැනීමට නියමිත වන අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවක්ද මෙහිදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රුවන් මාපලගම, නීතිඥ උපුල් අබේවික්‍රම, ප්‍රදීප් මධුරංග, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත්, සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක ඇතුළු විශිෂ්ට අමුත්තන් සහභාගී විය.











Leave a Reply