නැවත දැනුම් දෙන තෙක් සෑම බදාදා දිනයක්ම පාසල් නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වන බැවින්, එදින ගෙදර සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීමට අවශ්‍ය පැවරුම්, අභ්‍යාස සහ පුනරීක්ෂණ සිසුන් වෙත ලබාදීමට සියලුම විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල්වල දෛනික පරිපාලන කටයුතු සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සදහා නිකුත් කළ උපදෙස් මාලාවක් මගින් මෙම නිවේදනය කර ඇති අතර, එය අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් නිකුත් කර ඇත.
මෙම උපදෙස් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබේ.
පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමා සහිත බැවින්, පාසල් පැවැත්වෙන කාලය තුළ බාහිර වැඩසටහන් හෝ උත්සව සඳහා කාලය භාවිත නොකිරීමටද උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම පාසල් මගින් සංවිධානය කරන උත්සව සහ වැඩසටහන් ඉන්ධන පරිභෝජනය අවම වන පරිදි පැවැත්විය යුතු අතර, රථ පෙළපාලි වැනි වැඩසටහන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
තවද පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම හෝ දැනට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගී කරවීමද නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා ඇති බව සඳහන් වේ.
මෙම උපදෙස් අනුව කටයුතු කරමින් පාසල්වල ඉගෙනුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.











Leave a Reply