23 සහ 24 දින වැසි තත්ත්වයේ අඩුවීමක් – 25 සිට නැවත වැසි සහ තද සුළං වැඩිවෙයි

23 සහ 24 දින වැසි තත්ත්වයේ අඩුවීමක් – 25 සිට නැවත වැසි සහ තද සුළං වැඩිවෙයි

අද (23) සහ හෙට (24) දිනවල නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන අතර, 25 සහ 26 දිනවල නැවතත් තරමක වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ජුනි 25 වැනිදා සිට දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වේ.

මේ අතර, ඊයේ (22) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 110ක වර්ෂාපතනයක් කළුතර දිස්ත්‍රික්කයේ වෝගන් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

🌊 මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමක්

🔹 කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා

🔹 ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media