Clean Sri Lanka යටතේ ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඒකල ආරම්භයි

Clean Sri Lanka යටතේ ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඒකල ආරම්භයි

“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කරන ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙම මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේ ඉංජිනේරු සංස්ථා කළමනාකරණ අංගනයේදී නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 350ක වටිනාකමින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා අධි තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන්කර ඇති අතර, පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයක්, නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක්ද මෙහි ඇතුළත් වේ.

“Clean Sri Lanka” වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ඉන් මිලියන 150ක් දැනටමත් නිදහස් කර ඇත.

මෙම ව්‍යාපෘතිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් කරා ගමන් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 40ක් සහ කාබන් විමෝචනයෙන් සියයට 25ක් ඉදිකිරීම් කර්මාන්තයෙන්ම උත්පාදනය වන අතර, බස්නාහිර පළාතෙන් පමණක් දිනකට මෙවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වන බව සඳහන් වේ.

මෙතෙක් අවිධිමත් ලෙස බැහැර කළ මෙම අපද්‍රව්‍ය නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සමඟ එක්ව පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media