, ,

ඩෙංගු මරණ 30 දක්වා ඉහළට – රෝගීන් 49,000කට ආසන්නයි, ගම්පහ ඇතුළු රෝහල්වල ධාරිතාවත් සීමාවට

ඩෙංගු මරණ 30 දක්වා ඉහළට – රෝගීන් 49,000කට ආසන්නයි, ගම්පහ ඇතුළු රෝහල්වල ධාරිතාවත් සීමාවට

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, වසරේ මේ දක්වා ඩෙංගු ආසාදනය හේතුවෙන් පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්න වී තිබේ.

ඩෙංගු රෝගය මේ වන විට දිස්ත්‍රික්ක 14ක් පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් 25,000කට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම මාසය අවසන් වීමට තවත් සතියකට ආසන්න කාලයක් තිබියදී පමණක් නව රෝගීන් 15,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ අංගොඩ බෝවන රෝග විද්‍යායතනය (IDH), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විට සිය උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බව වාර්තා වේ.

වත්මන් තත්ත්වය පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස් රට තුළ ඩෙංගු රෝගය ‘අධි වසංගත’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ හේතුවෙන් නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, ජලය රැඳී පවතින ස්ථාන ඉවත් කිරීම සහ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media