ආසියානු හා පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව මීගමුවේදී ඇරඹෙයි

ආසියානු හා පැසිෆික් කලාපීය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව මීගමුවේදී ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු හා පැසිෆික් කලාපීය රටවල් 25ක නියෝජිතයන් 80කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක සමුළුව මීගමුවේදී ආරම්භ වී තිබේ.

මෙම සමුළුවේ සමාරම්භක උත්සවය පසුගිය 23 වැනිදා මීගමුවේ පිහිටි Goldi Sands Hotel හිදී පැවැත්විණි.

සමාරම්භක අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු සහ International Civil Aviation Organization (ICAO) හි ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ Tao Ma ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍රයේ නවතම අභියෝග, ඒවාට මුහුණ දීම සඳහා භාවිතා වන නවීන තාක්ෂණික ක්‍රමවේද සහ කලාපීය රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සමුළුවේදී පුළුල් සාකච්ඡා පැවැත්වෙයි.

සමාරම්භක අවස්ථාව අමතමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය 21 වැනි සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මෙරට ගුවන් ආරක්ෂණ සහ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයට ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙන දෙන අවස්ථාවක් බවයි.

එමෙන්ම ඉදිරි වසර දෙකක කාලය සඳහා ආසියා-පැසිෆික් කලාපීය මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, එම ධූරය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් දරනු ලබන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, සංස්කෘතික උරුමය සහ ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවර්ධනයක් සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

සමුළුව අමතමින් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ආසියා හා පැසිෆික් කලාපීය ගුවන් ආරක්ෂණ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. මෙවැනි ජාත්‍යන්තර සමුළු සඳහා සත්කාරකත්වය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවලටද විශාල ප්‍රතිලාභ හිමිවන බව ඔහු සඳහන් කළේය.

මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වූ රටවල් 25ක නියෝජිතයන් සමඟ සමාරම්භක අවස්ථාව අවසානයේ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, සමුළුව ජූනි 26 දක්වා මීගමුවේදී පැවැත්වීමට නියමිතය.

සටහන : තුෂාර රොහාන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media