කැලණිය නුංගමුගොඩ ප්රදේශයේ පිහිටි ආරාමයක දොර ඉදිරිපිට මිනී ඔළුවක් තබා තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ ආරාමයේ වැඩසිටින මෙහෙණින් වහන්සේ පසුගිය 26 වැනිදා භාවනා වැඩසටහනක් සඳහා අනුරාධපුරයට වැඩම කර ආපසු පැමිණි අවස්ථාවේදී ආරාමයේ දොර ඉදිරිපිට මිනී ඔළුවක් තබා තිබෙන අයුරු දැක ඇති අතර, ඒ පිළිබඳව වහාම පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, ඊයේ (27) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක 05 වැඩබලන මහෙස්ත්රාත් ශ්රියාන් පුංචිහේවා මහතාගේ ප්රධානත්වයෙන් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබේ.
එහි තිබූ මිනී ඔළුව පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, අනතුරුව මෙහෙණින් වහන්සේට ආරාමය තුළට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.
මෙම ආරාමයේ පෙර වැඩසිටි මෙහෙණින් වහන්සේ අපවත් වීමෙන් පසුව 2024 වසරේ සිට වත්මන් මෙහෙණින් වහන්සේ එහි වැඩසිටින බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මෙහෙණින් වහන්සේ පවසා ඇත්තේ, ප්රදේශයේම හිමිනමක් විසින් තමන් ආරාමයෙන් ඉවත් කිරීමේ අරමුණින් මෙම ක්රියාව සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.
එමෙන්ම සිද්ධිය සිදුවූ බව කියන දිනයේ පෙරවරුවේ අදාළ හිමිනම ත්රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණ ආපසු ගිය බව ප්රදේශවාසීන් දැක ඇති බවද සඳහන් වේ.
තවද, ආරාමයේ සිටුවා තිබූ බෝධීන් වහන්සේට හානි සිදු කිරීම සහ නාම පුවරුව විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අතර, එම සිද්ධීන් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධියේ සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.










Leave a Reply