ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ අධිවේගයෙන් ඉදිකරන ලද කරස්නාගල, බස්නාගොඩ ජලාශය සහ නව පානීය ජල ව්‍යාපෘතිය (18) දින ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ප්‍රධානත්වය දරනු ලැබීය.
2017 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 229.5 ක වැය කරන ලදී. ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වශයෙන් චයිනා මැෂිනරි ඉංජිනියරින් සමාගම කටයුතු කළ අතර, ව්‍යාපෘතියේ මූල්‍යමය සහයෝගය ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව මගින් ලබාදින ලදී.
මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, මීරිගම සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් අයත් 443 ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන අතර, නව ජල සම්බන්ධතා 88,000 ක් ජනතාවට ලබා දීමට හැකිවනු ඇත.
මේ සඳහා බැලුම්මහර, නයිවල, මිනුවන්ගොඩ, පස්යාල සහ රන්පොකුණුගම යන ප්‍රදේශවල ජල කුළුණු 05 ක් ඉදිකර ඇති අතර, මීටර් ඝන 1,500ක ධාරිතාව සහිතව කිලෝමීටර් 504 දුරට ජලය බෙදාහැරේ.
අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, අතරමග නතරවී තිබූ බස්නාගොඩ ජල ව්‍යාපෘතිය චීන රජයේ ණය ආධාර හා මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන යටතේ නැවත ආරම්භ කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව හා චීනය අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයන අතර, 2025 සහ 2026 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම්, විදුලි බස්, ඉලෙක්ට්‍රොනික් චාජර්ස් ස්ථාන සහ විවිධ ආධාර ලබාදීමට චීන රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම උත්සවයට අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ නිලධාරීන්, චීන නියෝජිතයින් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී විය.











Leave a Reply