ඩෙංගු රෝගය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, එය මර්දනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මර්දන සතිය අද (15) සිට ආරම්භ කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම ජාතික වැඩසටහන සංවිධානය කර තිබේ.
ජුනි 20 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ පරිසර පවිත්‍රතා වැඩසටහන් පැවැත්වීම සිදු කෙරේ.
ජුනි 15, 16 සහ 17 යන දිනවල නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ජුනි 18 වැනිදා පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා වෙන් කර ඇති අතර, ජුනි 19 දින රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු කිරීමට නියමිතය.
ජාතික ඩෙංගු මර්දන සතියේ අවසන් දිනය වන ජුනි 20 දින පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජන සහභාගීත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.











Leave a Reply