ඩෙංගු අධි අවදානම හමුවේ බියගම ග්‍රාම නිලධාරී වසම් 4ක විශේෂ මර්දන මෙහෙයුමක්

ඩෙංගු අධි අවදානම හමුවේ බියගම ග්‍රාම නිලධාරී වසම් 4ක විශේෂ මර්දන මෙහෙයුමක්

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ප්‍රදේශ රැසක් ඩෙංගු අධි වසංගත තත්ත්වයකට පත්ව ඇති බව සැලකිල්ලට ගනිමින් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ඊයේ (19) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බියගම ප්‍රාදේශීය සභාව සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී වල්ගම බටහිර, බියගම උතුර, යබරලුව උතුර සහ සියඹලාපේ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් හතර ආවරණය කරමින් නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම, මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතා, උප සභාපති සුගත් දිසානායක මහතා, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දන උඩවත්ත මහතා, බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසන්න විජේතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම මෙහෙයුම සඳහා යුද හමුදා සාමාජිකයින් 75 දෙනෙකු, පොලිස් නිලධාරීන් 40 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 10 දෙනෙකු සහභාගී වූහ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ නිලධාරීන්, මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා බව සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media