,

මානසික ගැටලු සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට දුරකථන ඇමතුම් 8,000ක්

මානසික ගැටලු සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට දුරකථන ඇමතුම් 8,000ක්

පසුගිය වසර අවසන් වන විට, මානසික සහ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා පුද්ගලයින් අටදහසකට අධික පිරිසක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය වෙත දුරකථන ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වේ.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ, මෙම ඇමතුම් අතරින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ කලකිරීම, තනිවීම සහ දැඩි මානසික පීඩන තත්ත්වයන් සම්බන්ධයෙන් බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “දිට්වා” සුළිකුණාටුවෙන් පසු සති දෙකක කාලය තුළ පමණක් 1926 දුරකථන අංකයට දුරකථන ඇමතුම් පන්දහසක් පමණ ලැබී ඇති බවත්, එය එම ආපදා තත්ත්වයෙන් පසු ජනතාව මුහුණ දුන් මානසික පීඩනය පැහැදිලි කරන ලක්ෂණයක් බවත්ය.

දුරකථන ඇමතුම් ලබාදුන් ඇතැම් පුද්ගලයින් සඳහා, ඔවුන් පදිංචි පළාත්වල රෝහල්වල සේවය කරන මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, තවත් පුද්ගලයින්ගේ මානසික ගැටලු සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය විසින් පසුවිපරම් කටයුතු සිදු කරමින් සිටින බව ද වෛද්‍ය පුෂ්පා රණසිංහ සඳහන් කළාය.

මේ අතර, යම් අයෙකුට මානසික හෝ සෞඛ්‍ය ගැටලුවක් පවතින්නේ නම්, 1926 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අවශ්‍ය උපදෙස් හා සහය ලබාගන්නා ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media