මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස ‘බූරු මූණා’ සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්? – රැඳවියන් දෙදෙනෙක් මරුට, 28ක් රෝහලේ

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස ‘බූරු මූණා’ සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්? – රැඳවියන් දෙදෙනෙක් මරුට, 28ක් රෝහලේ

මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බිහිසුණු ගැටුම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මුල්කර ගනිමින් සිදුව ඇති බවට පොලීසිය අනාවරණය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “බූරු මූණා” සමග සමීප සබඳතා පවත්වන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙම ගැටුම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවද වාර්තා වේ.

ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු මේ වන විට මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 1,800කට ආසන්න පිරිසක් රඳවා සිටින අතර, එය කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා තබන ප්‍රධාන බන්ධනාගාරයක් ලෙස සැලකේ.

ගැටුම දුරදිග යාමත් සමඟ බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, ඇතැම් රැඳවියන් විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටි රැඳවියන්ටද පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක ඖෂධ අධි මාත්‍රාවෙන් භාවිත කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැග විරෝධතාවක නිරත වූ අතර, එය ගැටුමට සම්බන්ධ පාර්ශ්වවලට සහාය පළ කිරීමක් බව පොලීසිය පවසයි.

සිද්ධියත් සමඟ මීගමුව සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්ධන ඒකක සහ ආරක්ෂක අංශ බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර බන්ධනාගාරය ඉදිරිපිටට රැස් වූ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද තම ඥාතීන්ගේ තත්ත්වය පිළිබඳ තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ අතර, පසුව පොලීසිය මැදිහත්ව රෝහල්ගත කර ඇති රැඳවියන් පිළිබඳ තොරතුරු ලබාදීමට සහ ඔවුන් බැලීමට අවස්ථාව සලසා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන් 30 දෙනෙකු මීගමුව මහ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර ශානන ඉශාන්, අනුරාධ සිල්වා, සවිදු කුෂාන් ප්‍රනාන්දු, ලංකා ප්‍රසාද්, ඩිල්ෂාන් සඳරුවන්, ගිහාන් මධුවන්ත, අජිත් ඉන්දික, නිලංග කසුන්, සජිත් කුමුදු කුමාර, නයන උදය කුමාර, සජිත් නිරෝෂන්, ඉසුරු ෂෙහාන්, පී.ටී. චන්දන, කොළඹගේ පිරිස්, එරංග සම්පත්, ගයාන් මදුසංක, කොඩිචාන් ක්ලාක්, ජේ.කේ. මනෝජ්, අරුණ ශාන්ත, ගයාන් සම්පත්, ලහිරු දිල්ෂාන්, ෂෙහාන් මදුරංග, ගැමුණු දේශප්‍රිය, හරිදු මාලක, සඳුන් ශ්‍රීමාල්, ගායාන් රංගන, යෝගරාජා, දිනේෂ් චතුරංග සහ අෂේන් මදුරංග යන රැඳවියන් සිටින බව වාර්තා වේ.

ඔවුන්ගෙන් සඳුන් ශ්‍රීමාල් සහ අෂේන් මදුරංග යන රැඳවියන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවද සඳහන් වේ.

සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ 30 දෙනා සමඟ සමස්ත හානි සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media