ගම්පහ කියන්නේ අධ්‍යාපනික නගරයක්. කීර්තිමත් පෞද්ගලික, ජාතික ඇතුළු පාසල් රාශියක් ගම්පහ තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් ස්ථාපිතයි. එදා මෙදා ජනප්‍රිය ආදරණීය ටියුටරි මාස්ටර්ලා බිහිවුණ, දරු දැරියන්ගේ ආදර ගෞරවයට පාත්‍රවුණ ටියුටරි මාස්ටර්ලා හොල්ලපු නගරයක් තමයි ගම්පහ නගරය කියන්නේ. ගම්පහ නිවුස් අපි වෙනස්ම විදිහේ වැඩක් කරන්න පටන් ගත්තා. ඒ තමයි ” හීනවලට පාර කියන ගුරු තරු ” ආටිකල් සීරීස් එක. අපි ඩිජිටල් මාධ්‍ය නියෝජනය කරන නිසා මාධ්‍ය නැත්නම් මීඩියා වලින්ම වැඩේ පටන් ගන්න හිතුවා. අපි දැක්කා පෝස්ටරයක හිනා මුහුණක් එක්ක රහට මීඩියා – ටෙනුක දිල්ෂාන් කියලා තියෙනවා. අපි එතනින්ම පටන් ගන්න තීරණය කළා. අපි ගියා පීල්ලවත්තට ටෙනුක දිල්ෂාන්ව හොයාගෙන මේ මීඩියාව රහ කරන හැටි බලන්න.
ටියුටරියේ දරුවන්ට චරිතයෙන් යමක් උකහා ගන්නත් පුළුවන් වෙන්න අපි කතාව පුංචි කාලෙ ඉඳන්ම ආරම්භ කරන්න.

01. ටෙනුක දිල්ෂාන් අපි එහෙනම් ඔබේ පුංචි කාලයටම යමු. ඔයාග් උපන් ගම කොහෙද? පවුලේ අයගේ විස්තර මොනවද?
මගේ නම ටෙනුක දිල්ෂාන්. මම ජනමාධ්‍ය විෂයය උගන්වන ටියුෂන් ගුරුවරයෙක්. මම ඉපදුණේ මිනුවන්ගොඩ පීල්ලවත්තේ. මම අදටත් ජීවත් වෙන්නේ උපන් ගමේමයි. මගේ පවුලේ විස්තර ගැන කිව්වොත් මගේ අම්මා තාත්තා ඉන්නවා. මල්ලියි නංගිලා දෙන්නෙක් ඉන්නවා. මා ඇතුළු අපේ පවුලේ සහෝදර සහෝදරියෝ සිව්දෙනාම විවාහකයි. මගේ බිරිඳ දිනූෂා ඇඹුල්දෙණිය. ඇය වෘත්තියෙන් ගුරුවරියක්… අපි දෙන්නම එකම විශ්ව විද්‍යාලයේ. අපේ ආදරණීය සරසවිය තමයි කොළඹ විශ්ව විද්‍යාලය. ඇය මගේ විශ්ව විද්‍යාල ප්‍රේමය. අපිට ආදරණීය චූටි දුවෙක් ඉන්නවා.
02. පාසල් කාලය ගැන මතක් කරමු….
මම කැමතියි මගේ පෙර පාසල් කාලය ගැන ඉඳන්ම මතක ආවර්ජනය කරන්න. මම මුලින්ම පෙර පාසල් ගියේ කුමර මරියා පෙර පාසලට දෙවනුව ආඬිඅම්බලම යමානා කියලා පෙර පාසලකට ඇතුල්වෙනවා. මගේ පාසල් කාලය ආරම්භ වෙන්නේ ආඬිඅම්බලම රෝමානු කතෝලික විද්‍යාලයෙන්. මම පහ ශ්‍රේණිය දක්වා ඉගෙනගන්නේ ඒ පාසලේ. දෙවනුව 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගෙනුම ලබන්නේ ආඬිඅම්බලම මහා විද්‍යාලයේ. 2008 වර්ෂයේ අපේ පාසලෙන් විශ්ව විද්‍යාලයට ගිය එකම ශිෂ්‍යයා මම. දැන් මගේ ආදරණීය පාසල ජාතික පාසලක්. පාසල් කාලයේ විෂයය අධ්‍යයන කටයුතු වගේම විෂයය බාහිර වැඩත් එක හා සමානව කළා. ශිෂ්‍ය නායක මණ්ඩලයේ හිටියා, ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිවාස නායකයා වෙලා හිටියා. සාහිත්‍ය සංගමයේ සභාපති විදිහට කටයුතු කළා. කලා උළෙල ගුරු දින උපහාර උළෙල කළා. සාමාන්‍යයෙන් කට වචනෙට කියන්නේ දෙකම එකට බැලන්ස් කරගන්න බැහැ කියලනේ. ඒක වැරදියි. මම ඒ දෙකම කළා. මගේ අම්මා හැම වෙලාවකම මට උදව් කළා. හැමදාම උදේට අම්මා මතක් කරනවා අද හවස පන්ති තියෙනවා කියලා. ඒ වගේම අම්මා හැමදාම හවසට පාසල් පොත්, ටියුෂන් පන්ති වල පොත් බැළුවා. අම්මා හැම වෙලාවෙම මගේ පසුපසින් රැකවල් ලාගෙන හිටියා. දරුවන්ට දරුවන් කැමති මාර්ගයේ යන්න දීලා දෙමාව්පියන් පසුපසින් රැකවල් ලාගෙන ඉන්න ඕනේ. එහෙම කළොත් විතරයි දරුවන්ව නිසි මාර්ගයේ යවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මගෙත් මොකක් හෝ කළමනාකාරණයක් තිබුණා සියල්ල බැලන්ස් කරගෙන යන්න.
03. ශිෂ්‍යත්ව විභාගයේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල මතකද? කියන්න පුළුවන්ද?
හොඳට මතකයි. කියන්නත් පුළුවන්. ශිෂ්‍යත්වයෙන් දරුවෙක්ගේ ජීවිතය තීරණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනෙක් විභාග වලිනුත්. සමත්වීම හෝ විශිෂ්ඨ ලෙස සමත්වීම වගේම අසමත්වීම කියන කාරණය මතම ජීවිතය තීරණය කරන්න බැහැ. නමුත් සාපේක්ෂව යම් වෙනසක් වෙන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභගයට මගේ ලකුණු 106යි. ඒ වර පාස් මාක් එක වුණේ 134. ඒ කාලේ ආර්ථික ප්‍රශ්නත් එක්කනේ ජීවිතේ ගැටගහගත්තේ. මට මතකයි විභාගයේදී මගේ පෑන කැඩි කැඩි ලියවුණේ. ඒ නිසා වචන අපැහැදිලිතා අකුරු කැතවීම් අකුරු අපැහැදිලිවීම් සිදුවුණා. සාමාන්‍ය පෙළදී A – 2යි, B – 2යි, C – 2යි. ඉතිරි ඒවා S. උසස් පෙළ A- 2යි, B-1යි. A -3ක් ගන්න තිබුණා අනිවාර්යෙන්ම. නමුත් මගේ පස්සෙන් නංගිත් අධ්‍යාපනය කරගෙන එන නිසා නංගිව ක්ලාස් යවන්න අම්මට තාත්තට හයියක් වෙන්න මම එක විෂයකට ටියුෂන් ගියේ නැහැ. ඒක වෙන්න ඇති ඒ විෂයට B එකක් ලැබුණේ. නංගි උසස් පෙළට A-3ක් ගත්තා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි සහ මං සහෝදරයා විදිහට මට කරන්න පුළුවන් කැපකිරීම කළා කියලත් සතුටුයි. අපේ පවුල ඇතුලේ පුදුම එකමුතුවක් සහ සමඟියක් තිබ්බා. ඒ කාලේ අපිට තිබුණු ආර්ථික අවපාතයට අපි පවුලක් විදිහට එකට මුහුණ දුන්නා. එකට විසඳුම් හෙව්වා. එකා මෙන් තමන්ට පුළුවන් අයුරින් අනෙකා වෙනුවෙන් කැපකිරීම් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි පවුලක් විදිහට හැමෝම සාමාන්‍යයෙන් හොඳ සමාජ මට්ටමක ඉන්නවා.
04. උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීම හා අමතක නොවන සිදුවීම් මතක් කළොත්.
2008 වර්ෂයේ උසස් පෙළ ලියලා පාස් වෙලා 2010 තමයි මම විශ්ව විද්‍යාලයට යන්නේ. 2013 වගේ තමයි විශ්ව විද්‍යලයෙන් අවුට් වෙන්නේ. ජනමාධ්‍යෙව්දී විශේෂ උපාධිය ලබාගෙන තමයි කැම්පස් එකෙන් අවුට් වෙන්නේ. මනුෂ්‍යෙයක් විදිහට අපේ ජීවිත වල ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම යන්නේ උසස් පෙළ පාසල් ජීවිතයටයි. කැම්පස් ජීවිතයටයි. ඒ තරම්ම මගේ ජීවිතේ අතිශය සුන්දර කාලවකවානුවක් තමයි ඒ කාලේ. කැම්පස් එකේ අපි රේඩියෝ චැනල් එකක් කළා. ඒකේ මාර්කටින් මැනේජර් විදිහට මම වැඩ කළා. අද ඉස්සරට වඩා දියුණුයි කැම්පස් එක. මම මගේ ළමයි අරගෙන යනවා වසරකට වතාවක් කැම්පස් එක ඔවුන්ට පෙන්වන්න. මගේ ලයිෆ් පාට්නර්ව හම්බුණෙත් කැම්පස් එකෙන්. කොල්ලෙක් විදිහට බොහොම සුන්දර මතකයන් පිරුණු තැනක් තමයි මට කැම්පස් එක කියන්නේ. අද වගේ නෙමෙයි ඉස්සර අපිට ට්‍රිප් යන්න සල්ල එහෙම ලොකුවට ඕනේ වෙන්නේ නැහැ. කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික සෙට්වුණා යන්නේ කොහෙද කියලා ප්ලෑන් කළා, ටවුන් එකක් මැද්දට ගිහින් සිංදු කිහිපපයක් ගායනා කරලා හැට් කලෙක්ෂන් එකක් දැම්මහම වැඩේ ගොඩ. මට මතකයි අපි එක පාරක් ට්‍රිප් එකක් ගියා. එකෙක් ගාවවත් සල්ලි නෑ. බස් එකේ යනකන් සිංදු කිව්වා. බස් එකේ හිටපු අයගේ ඉල්ලීම් වලටත් ගීත ගායනා කළා. බස් එකේ රියදුරු මහත්තයයි කොන්දොස්තර මහත්තයයි බස් එකේ කැසට් එක පවා ඕෆ් කරලා සහයෝගය දුන්නා. අපෙන් බස් එකට සල්ලි ගත්තෙත් නෑ. මග තේ බොන්න නැවැත්තුවහම අපිට කන්න බොන්න අරන් දුන්නෙත් බස් එකේ ගියපු අය. ඒ තරම් අපේ ගීත ඒ අය රසවින්ඳා. මිහිරි මතක රාශියක් ගැබ් වෙලා තියෙන කාලයක් තමයි කැම්පස් ජීවිතේ කියන්නේ. විශ්ව විද්‍යාල ජීවිතය කවදාවත් අමතක වෙන්නේ නැහැ. කණු බදාගෙන ආදරේ කරපුවා අමතක වෙන්නේ නැහැ. ප්‍රේමය කොහෙත්ම අමතක වෙන්නේ නැහැ. ඒක වෙනස්ම කතාවක්. දිනෙන් දින මට විශ්ව විද්‍යාලයේ මතකයන් අළුත් වෙනවා මගේ බිරිඳ නිසා. ඇය මට විශ්ව විද්‍යාල ජීවිතය තුළින් ලැබුණ දෙයක්. එකක් කියලා නැහැ අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා.
05. ඔබ ජීවිතයේ අද ඉන්න තැන දක්වා ඔබේ ජීවිතය වෙනස් කරගෙන ආව ගමන් මඟ ගැන විස්තර කළොත්. ඔබට ලැබුණු උදව් උපකාර, ඔබට ආව අභියෝග, ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් කළ වෙහෙස මහන්සිය ආදිය.
අද ඉන්න තත්ත්වය ගැන ගොඩක් සතුටුයි. කාලයක් ටියුෂන් ෆීල්ඩ් එකේ රැඳිලා දැන් තමයි තරමක් නමක් හදාගෙන පොඩි කන්සෙප්ට් එකක් එළියට දාගෙන ඉදිරියට යමින් සිටින්නේ. අනිත් කාරණය උදව් කරපු අය ගත්තොත් ගොඩක් අය ඉන්නවා. අම්මා තාත්තගේ ඉඳන් පවුලේ අය ඉන්නවා. විශේෂයෙන් දැන් පන්ති කරන මිනුවන්ගොඩ සිග්මා ආයතනයේ තමයි මගේ නම ප්‍රසිද්ධ. ඒ ආයතනය අයිති චන්දන සම්පත් සර්ට. 2011 වර්ෂයේ මාව එතනට සම්බන්ධ කරන්නේ අපේ ගම කිට්ටුව ඉන්න ෂෂී කියලා අයියා කෙනෙක්. මගේ නෑදෑයෙක් වෙනවා. එයාගේ මල්ලි මගේ පන්තියේ. ඒ කාලේ මම සිංහල විෂයය තමයි ටියුෂන් කළේ. ඒ බැඳීම එක්කම වසර 14ක් 15ක් පුරාවටම මම ඒ ආයතනය සමඟ ඉන්නවා. දැන් සිග්මා ඔරියන්ටල් කියලා අලුත් ආයතනයක් පටන්ගත්තා. ඒකෙත් මම ටියුෂන් කරනවා. 2015 කාලේ මට මතකයි. අපේ ගෙවල් පැත්තේ මං හඳුනන අයියා කෙනෙක් මට රු 5000ක් අතට දීලා කිව්වා මල්ලි ඔයා ටියුෂන් එක තව ටිකක් හොඳට ඇදගෙන යන්න පෝස්ටර් ගහගන්න කියලා. එදා නුවන් අයියා අල්ලලා දුන්න ගැම්මත් එක්ක නවතින්නේ නැතිව මේ ගමන ඇදගෙන ආවා. අභියෝග ගැන කියනවා නම්. මේ ළඟදි මට අලුත් ආයතනයකට එන්න කියලා ආරාධනාවක් ආවා. මම ගියා. නමුත් මම ගියහම ඒ ආයතනය අයිති ගුරුවරයාම මගෙන් ඇහුවා ඇයි මේ වෙලාවේ ආවේ, මොකක්ද කාරණය කියලා. කොහොම නමුත් මාව ගෙන්නලා මාව අපහසුතාවයට ලක් කරන්න තමයි ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේ කණගාටුදායක දේවල් පවා සිදුවෙනවා. තව සමහරු උත්සාහ කරනවා අපේ නම අපේ විෂයය එයාලා එයාලගේ ටියුෂන් වලම ප්‍රමෝට් කරනවා වගේ පෙන්වන්න. එහෙම කරන්නේ එයාලා හෙන දාර්ශනිකයි, පට්ට සපෝටබල්, හරි නිහතමානී හරි හොඳයි වගේ ලේබල් අලවගන්න. ටියුෂන් ෆීල්ඩ් එක කියන්නේ ඩ්‍රාමා වලටත් වැඩිය ඩ්‍රාමා පෙන්වන තැනැක්. කැලේ ගහක්ම තමයි කැලේ ගහක් නසන්න හේතුවක් වෙන්නේ. මම මගේ පන්තිය තුළ කාවවත් විවේචන කරන්නේ නැහැ, රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. මගේ පාඩුවේ මගේ ගමන යනවා. තව අවුරුද්දක් දෙකක් ඇතුළත මම ගම්පහින් කුරුණෑගලට හරි නුවරට හරි මගේ ටියුෂන් බල ප්‍රදේශය පුළුල් කරන්න හිතාගෙන ඉන්නවා.

06. අපි හමුවෙන්න හේතු වූ කාරණය දැන් තමයි අහන්නේ…. රහට මීඩියා සංකල්පය ගැන කිව්වොත්…. ඔබ කොහොමද මීඩියා කියන විෂය රහ කරන්නේ ඔබෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.
මට මතක හැටියට 2015 හරි 2016 හරි දරුවෙක් මගේ පන්තියට ඇවිල්ලා පළවෙනි දවසෙම මං ඉගැන්නුවාට පස්සේ කියනවා සර් මාර රහයිනේ සර්ගේ වචන. හරි රහට සර් උගන්වනවානේ කියලා. මගේ ඔළුවේ ඔය සිද්ධිය සහ කියපු කතාව වැදුණා. ඒකත් ඔළුවේ තියාගෙන ඉන්නවා. මම විනෝදාංශයක් විදිහට නිවේදන කටයුතු කරනවා සංගීත ප්‍රසංග වල එහෙම ටියුෂන් වලට අමතරව. ගමේ අවට මට ආරාධනා ලැබෙන කිසිම නිවේදන කටයුත්තකට මම කිසිඳු මුදලක් අය කරන්නේ නැහැ. මට මතකයි නිවේදක ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන ඩෙන්සිල් නුගේගොඩ මහත්මයා කියනවා නිතරම දෙන්නකෝ රහට හොඳ අත්පොළසන් නාදයක්. ඒ වගේ වර්ඩින් අපිත් භාවිතා කරනවා නිවේදන කටයුතු කරනකොට. ඉතින් ඔය වචනය නිතර ඇහෙද්දි, නිතර මතක් වෙද්දි මම හිතුවා මේ වචනය මගේ විෂයයට එකතු කරගන්න. ඉතින් මම රහට මීඩියා කන්සෙප්ට් එකක් බවට පත් කළා. මම පන්තියේ එක තැනක ඉඳන් ඒකාකාරීව උගන්වන කෙනෙක් නෙමෙයි. ටිකක් කෑ ගහලා දඟලලා උගන්වනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය තුළ සිදුකරනවා. ප්‍රායෝගික දේට ඉඩදෙනවා සහ ප්‍රායෝගිකව විස්තර කරනවා. මීඩියා කියන්නේ පැක්ට්‍රිකල් විෂයයක්. හැමවෙලාවෙම මගේ සබ්ජෙක්ට් එක මමම එන්ජෝයි කරනවා. මම එන්ජොයි කරන ගමන් ළමයින්ටත් සබ්ජෙක්ට් එක එන්ජොයි කරගන්න විදිහ කියලා දෙනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ කන්සෙප්ට් එක ළමයින්ට ගොඩක් වැදිලා තිවෙනවා, දැනිලා තියෙනවා.
07. ඔබ උපකාරක පන්ති පවත්වන්නේ කොහෙද සහ පන්ති පවත්වන වේදිකා ක්‍රම මොනවද?
දැනට මම පන්ති පවත්වන්නේ සජීවී වේදිකාවේ ශාලා පන්ති විදිහට. මිනුවන්ගොඩ සිග්මා ආයතනය, සිග්මා ආයතනයටම අයිති ඔරියනටල් ආයතනය, ගම්පහ නැණිල ආයතනය, දිවුලපිටිය මිහිසර, මීගමුව මැල්ගෝ ආයතනය යන ආයතන වල ටියුෂන් කරගෙන යනවා. විවිධ ප්‍රදේශ වල අය සමාජ මාධ්‍ය ඔස්සේ යෝජනා කරනවා ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් එකට එන්ටර් වෙන්න කියලා. ඒ ආරාධනා එක්ක මාර්ගගත ක්‍රමයට ලබන අවුරුද්දේ සිට පන්ති පවත්වනවා.
08. උපකාරක පන්ති පවත්වන සාමාන්‍ය ක්‍රමවේදයමද ඔබේ රහට මීඩියා සංකල්පය තුළ පවතින්නෙත්. නැත්නම් ඔබටම ආවේණික ක්‍රමවේදයක් තියෙනවද?
මම ටියුෂන් කරන්නේ මගේ ක්‍රමයට. මගේම ක්‍රමයට කිව්වොත් නිවැරදියි. මම පන්තියේ ඉන්නේ සිනා මුසු මුහුණින්. මොන ප්‍රශ්නයක හිටියත් මගේ පන්තියට මම ඒ ප්‍රශ්නය අරන් යන්නේ නැහැ. දරුවන්ට ප්‍රියමනාප වෙන විදිහට අපි ඉන්න ඕනේ කියන එකයි මගේ අදහස. ෆීල්ඩ් එකේ ඉන්න ගුරුවරු පවා කියන්නේ මම හිනාවුණ ගමන්මයි ඉන්නේ කියලා. මම ක්ලාස් එක ඇතුළේ ප්‍රායෝගිකව වැඩ කරන කෙනෙක්. අපේ පාඩමක් තියෙනවා නිර්මාණාත්මක සන්නිවේදනය පාඩම. ඒ පාඩම අපි කරන්නේ තනිකරම ප්‍රායෝගිකව. පන්තියේ ළමයික්ටම කියනවා ෂෝර්ට් ෆිල්ම් එකක් කරන්න කියලා. අවුරුදු ගණනාවක ඉඳන් කරන්නේ ඒ විදිහට. ෂෝට් ෆිල්ම් එක කරලා ඉවර වෙනකොට පාඩම හැමෝටම පැක්ට්‍රිකලි වැටහිලා. හරිම සරලයි. ඒ ෂෝට් ෆිල්ම් වලට හොඳ ප්‍රතිචාර ලැබුණා අපේ ළමයින්ට. සබ්ජෙක්ට් එකේ තියෙන ප්‍රායෝගික දේවල් මම ප්‍රායෝගිකවම කරවන කෙනෙක්. තව තියෙනවා සිද්ධි කළමනාකරණය කියලා විෂයය කොටසක්. ඒකේ තියෙනවා විශ්‍රාන්තික අවස්ථා අපි අපේ සබ්ජෙක්ට් එකට මේක හදලා එකතු කළා. අප්‍රේල් වල තමයි මේක කරන්නේ. අපි අපේ පන්තියේ හැදුවා සරම් පාටිය කියලා වැඩසටහනක්. ටීවී චැනල් වල වගේ මේකත් සීයන් විදිහට යන්නේ. සියළුම කටයුතු වෙන්නේ ළමයින්ගෙන්ම තමයි. සරම් පාටිය සීසන් 3 ඉවර වුණා. 2026 සීසන් 4 එනවා. මම හිතනවා මගේ ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් ඇති කියලා.
09. ඔබ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසිලා මේ වනවිට කොපමණ කාලයක් ගිහින්ද? ඔබ ඒ කාලය තුළ ඔබේ සිසුන්ට ලබාදී ඇති ප්‍රතිඵල වල මට්ටම ගැන මතක් කළොත්.
දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මුලින්ම මම සමාජසේවා කටයුතුත් එක්ක හිටියේ. මම ටියුෂන් වලට ඇවිත් උගන්වලා තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. මම මිනුවන්ගොඩ යම්කිසි පාසලක් අසලින් යනකොට ලොකු කට් අවුට් එකක් ගහලා තිබුණා. ඒකේ කලා අංශයෙන් සමත් අයගේ පින්තූර දාලා තිබුණා. 17ක් ඒ පින්තූරයේ පෙනී සිටියා. ඒකෙන් 13ක් මගේ විෂයය මගෙන් ඉගෙනගත්ත අය. මම කවදාවත් ප්‍රතිඵල ලේඛන දාන්නේ නැහැ. ඒකට හේතුව මට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. පුංචි කාලේ අපිට අම්මා තාත්තා උගන්වනවා. ඊට පස්සේ පෙර පාසල්, ඊට පස්සේ ප්‍රාථමික පාසල්, ඕ ලෙවල් ගුරුවරු, ඒ ලෙවල් ගුරුවරු මේ ඔක්කොම දරුවෙකුට උගන්වනවා. ඒ හැමෝම ලොකු කොටස් කාරයන් දරුවන්ගේ. ටියුෂන් ගුරුවරයා දරුවට උගන්වන්නේ මුදලක් අරගෙන. එහෙම බැළුවහම මට දරුවෙක්ගේ විභාග ප්‍රතිඵල වල තනි අයිතියක් කියන්න බෑ. ඒක නිසා මම තනි අයිතිය පෙන්වන්න ප්‍රතිඵල ලේඛනයක් කවදාවත් එළියට දාන්නේ නැහැ.
10. උපකාරක ගුරුවරයෙක් ලෙස වත්මන් සිසු පරපුරට ඔබට යමක් කීමට තියෙනවද?
ඇත්තටම අද ඉන්න පුතාලා දුවලා අපේ පරම්පරාවට වඩා හරි වෙනස්. ඉගැන්වීම කියන්නෙම අතීත කාල පරපුරක් වර්ථමාන කාල පරපුරට අනාගත කාලේ පරපුරක් වෙන්න කියාදෙන එකටනේ. ගුරුවරයෙක් හැබෑ නම් තුන්කල් දකින්න ඕනේ. තුන් කල් වත්මන් පරපුරට පෙන්වන්න ඕනේ. වර්තමානයේ ඉන්නේ ඉහළ නිර්මාණශීලීත්වයක් තියෙන දරුවෝ. වෙනස් විදිහට හිතන අය. ඒ නිර්මාණශීලීත්වය හරි විදිහට පාවිච්චි කරන්න කියලා දුන්නොත් වත්මන් පුතා දුවලට අනිවාර්යෙන්ම මේ රට ගොඩගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒක වෙන දිහාකට යන්නේ. නමුත් මම ගොඩක් දුරට මගේ පන්ති වලදී මම උත්සාහ කරනවා මගේ දරුවන්ව ඒ නිර්මාණශීලී ගමන ගෙනියන්න. මගේ දරුවන්ට මම කියනවා මගේ රට ගැනැ හිතන්න, තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් ගැන හිතන්න කියලා. හොඳට පොත පත පරිශීලනය කරන්න, අන්තර්ජාලය පරිශීලනය කරන්න, දැනුම එක්රැස් කරන්න මම නිතරම හුරුකරනවා. අලුත් පරම්පරාවේ දැනුම අඩුකමක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ පරම්පරාව ඉතාම ෂෝට් ඇන්ඩ් ස්වීට් දේවල් පමණක් බලන්න හොයන්න සහ පරිශීලනය කරන්න හුරුවෙලා ඉන්නවා. වත්මන් නිර්මාණශීලී දරුවන්ට ඔනේ ගයිඩ් ලයින් එකක්. ඒක හරියට දුන්නොත් හරි වැරදියට දුන්නොත් වැරදියි.

11. මේ දවස් වල හැමෝම හැමෝගෙන්ම අහන ප්‍රශ්නයක් තමයි වත්කම් ප්‍රශ්නය. ඔබේ වත්කම් ගැන කිව්වොත්…
වත්කම් ප්‍රශ්නයට මුහුණ දුන්නොත් මට නම් කියන්න සහ පෙන්වන්න තියෙන්නේ මෙච්චරයි. ලොකුම වත්කම තමයි මගේ උගත්කම. අනෙක් පැත්තෙන් ගත්තහම මගේ පවුල, මගේ බිරිඳ, මගේ දරුවා, මගේ සහෝදර සහෝදරියො, අම්මා තාත්තා තමයි මගේ වත්කම. මම වත්කම් රැස්කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඉතින් ජීවත් වෙන්න පුලුවන් විදිහට ඒ ආදායම් මාර්ගය හදාගෙන තියෙනවා. සතුටින් ඉන්නවා. මට උදව් කරපු අය මගේ වත්කම්, මගෙන් ඉගෙන ගන්න දරුවෝ මට ලොකු වත්කමක්. ඔවුන් මගෙන් ඉගෙන ගන්න මාව තෝරා ගැනීමම මගේ නිහතමානී වත්කමක් කියලයි මම හිතන්නේ. කාශ්‍යප රජතුමා ධාතුසේන රජතුමාගෙන් වස්තුව ඉල්ලනකොට කලා වැව පෙන්වන්න පුළුවන් වුණා වගේ මට පෙන්වන්න තියෙන්නේ මං කියපු මේ වත්කම් තමයි.
12. ඔබ වෘත්තියෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් විදිහට ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන කිව්වොත්. හොඳයි ද? නරකයි ද? යම් යම් එකතු කිරීම්, අඩු කිරීම්, වෙනස් කිරීම් අවශ්‍යද? නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුද?
මම මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මට කොහෙත්ම කියන්න බැහැ මේ ක්‍රමයේ වැරැද්දක් තියෙනවා කියලා. නමුත් අපි ප්‍රායෝගික ලෝකයට හැඩගැසෙන්න ඕනේ නිසා ප්‍රායෝගික දේවල් එකතු වෙන්න ඕනේ. පවතින ක්‍රමයේ කිසිම වැරැද්දක් නැනැ. හැදියාව, ආචාර ධර්ම කියන හැම දෙයක් එක්කම බද්ධ වෙලා තමයි මේ පාසල් අධ්‍යාපන ක්‍රමය යන්නේ. පවතින ක්‍රමයේ වැරැද්දක් අපි දකිනවා කියන එකේ ගැටළුවක් තියෙනවා. අපි ඉගෙනගත්තු විශ්ව විද්‍යාල වල අපිට පහසුකම් තිබුණා. යම් ප්‍රමාණයක් ආණ්ඩුවෙනුත් වියදම් කළා. මේ රට නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක්. වෙන රටක නිදහස් අධ්‍යාපනයක් නැහැ. අධ්‍යාපන ක්‍රමය කෙසේ වෙතත් අපේ රටේ තියෙන මේ නිදහස් අධ්‍යාපනය කියන එකම නැතිවුණොත් රටක් විදිහට ලොකු අර්බුදයකට මුහුණ පාන්න පුළුවන්. අපේ කලා විෂයයන් වල ගත්තොත් ගොඩක් වටිනා උපාධි තියෙනවා. අපේ ළමයි හොයලා බලලා යොමුවෙන්නේ නැහැ. යොමු කරන්නෙත් නැහැ. ප්‍රායෝගිකත්වය තියෙන විෂයයන් ගැන දරුවන් දැනුවත් නැහැ. කවුරුත් දැනුවත් කරන්නෙත් නැහැ. වත්මන් AI තාක්ෂණය එහෙම අපේ විෂයයන් වලට එකතු වෙන්න ඕනේ. මීඩියා සබ්ජෙක්ට් එකේ AI කියන්නේ එක පුංචි කොටසක් විදිහට තියෙන්නේ. නමුත් මම AI ගැන මගේ දරුවන්ට පුළුල් දැනුමක් ලබාදෙනවා. මම විතරයි මං හිතන විදිහට AI තාක්ෂණය කියන විෂයය කරුණට සටහනක් දීපු එකම මීඩියා ගුරුවරයා. 2019 තමයි AI අපේ සබ්ජෙක්ට් එකට ඇතුල් වුණේ. නමුත් අදටත් AI ගැන අපි ලොකුවට කතා කරන්නේ නැහැ. ජපානයේ චීනයේ වගේ අපේ රටෙත් පාසල් විෂයය පද්ධතියට ප්‍රායෝගිකත්වය කියන කොටස එකතු වෙන්නම ඕනේ. ඒ ටිකත් එකතු වුණා නම් අපේ පවතින අධ්‍යාපන ක්‍රමය පරිපූර්ණයි කියලා තමයි මම විශ්වාස කරන්නේ.
13. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ අපේ රට සහ ජනතාව දකින්න ආස විදිහ ගැන විස්තර කළොත්.
මම ආසයි හැම ශ්‍රී ලාංකිකයෙක්ම සතුටින් හිනා වෙලා ඉන්නවා දකින්න. ජනතාවට තියෙන ප්‍රශ්න අඩුකරගෙන ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හැදිලා සතුටින් හිනාවෙලා ඉන්න හැමෝටම හිනාවෙන්න පුළුවන් රටක් සහ ජනතාවක් දකින්න මම ආසයි. සමහර වෙලාවට අපි පාරේ යනකොට අනෙක් කෙනා එක්ක හිනාවුණත් ඒ කෙනාට හිනාවෙන්නවත් මතක නැහැ. තමන්ගේ ප්‍රශ්න ඇතුලේ හිරවෙලා කල්පනා කරමින් යන්නේ. තමන් යන්නේ කොහෙද කියලවත් තමන් දන්නේ නැහැ. හොස්ස ළඟින් මැස්සා යන්න බැහැනේ රණ්ඩුවටමයි යන්නේ. එහෙම නැතිව සියළුම දෙනා හිනාවෙලා සතුටින් ඉන්නවා දකින්න තමයි මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශ්‍රී ලාංකිකයින්ව දකින්න කැමති.
14. ඔබේ ඉදිරි අරමුණු, බලාපොරොත්තු, අනාගත සැලසුම් මොනවද?
අනාගත සැලසුම් කිව්වහම ටිකක් දුර සැලසුම් තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ රහට මීඩියා ටෙනුක දිල්ෂාන් කියන නම තව ටිකක් හදාගන්න ඕනේ. රහට මීඩියා කියන නම නිසානේ මට මේ ඉන්ටවීව් එකට අවස්ථාව ලැබෙන්නෙත්. ඒ නිසා මම ඒ ගැන බොහොම සතුටුයි. මම හිතනවා මීඩියා විෂයය කරන දරුවෙක් රහට වගේම හරියට මීඩියා ඉගෙන ගන්න නම් මාව හමුවෙන්න ඕනේ කියලා. හේතුව මම MCQ 3000ක් කරනවා. රචනා ප්‍රශ්න එයාලත් එක්ක මම ලියනවා. මගේ තියෙනකවා ක්ලාස් එකේ U & ME කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙන් වෙන්නේ මමයි දරුවොයි සාකච්ඡා කරලා උත්තර ලියනවා. හැම පාඩමකටම MCQ පේපර් එකක් දෙනවා. නෝට් එක වෙනම දෙනවා. ලොකුම දේ තමයි එක පාඩමක් මගේ පන්තියක් තුළ හත් අට වතාවක් ස්මරණය වෙනවා. රිවිෂන් තියරි දෙකේම දරුවන්ට හත් අට වතාවක් ඇහෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව නම් ගම්පහ දිස්ත්‍රික්කයේ මීඩියා සබ්ජෙක්ට් එක කරන දරුවන් මාව හොයාගෙන එන එක තමයි.
ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව ඉදිරියේදී කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්ක වලට රහට මීඩියා ටෙනුක දිල්ෂාන් පුළුල් වෙන්න අදහසක් තියෙනවා.
මගේ අම්මා තාත්තා ජීවත් වෙනකන් ආදරයෙන් සතුටෙන් බලාගන්න මගේ හිතේ ලොකුම අරමුණක් විදිහට තියෙනවා. දැනටමත් මට පුළුවන් විදිහට එය ඉටුකරමින් යනවා. ඒ අරමුණ මට හරි වැදගත්. මොකද එයාලා මං වෙනුවෙන් මහන්සි වුණා. පුලුවන් උපරිමයෙන්ම ඒ අය බලාගන්න එක තමයි මගේ ලොකුම අරමුණ, බලාපොරොත්තුව. අනාගත සැලසුම් තියෙනවා පෘතජනයෙක් විදිහට ගත්තහම. සමහර ඒවා සිතුවිලි, සිහින, හිතලු වෙන්නත් පුළුවන්. ඒවා මට කියාගන්න තේරෙන්නේ නැහැ.
රහට මීඩියා ටෙනුක දිල්ෂාන් ඔබේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ගම්පහ නිවුස් අපි ප්‍රාර්ථනා කරනවා. හීන සොයා යන – පාර කියා දෙන තවත් ටියුෂන් මාස්ටර් කෙනෙක් එක්ක අපි නැවත හමුවෙමු.












Leave a Reply