,

ශ්‍රී ලංකාවට ලෝක විවාහක රූ රැජින කිරුළ ගෙනෙන්නට, යන අපේ සොඳුරු රුවැත්තිය…

ශ්‍රී ලංකාවට ලෝක විවාහක රූ රැජින  කිරුළ ගෙනෙන්නට, යන අපේ සොඳුරු රුවැත්තිය…

රත්මලානේ “ස්ටයින් ස්ටුඩියෝ” (stein studio) මැදිරි සංකීර්ණයේදී පසුගිය 02 වැනිදා (02/10) පැවත්වු ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2025, තරඟයේදී මීගමුව පුරවරයේ, කැපුම්ගොඩ ග්‍රාමයේ “සබීනා ටී. යූසෆ්” 2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජිනිය” ( Mrs. Sri Lamka, World ) ලෙස අභිෂෙක් ලැබීය.

වෘත්තීයෙන් ඉංජිනේරුවරයකු වු ඩෙන්මාර්ක් ජාතික යෙන්ස් ත්‍රෝසන් මහතාට සහ කැපුම්ගොඩ ග්‍රාමයේ මිහිඳුකළසූරිය සුනේත්‍රා මහත්මියට දාව 2000 වසරේ මාර්තු මස 03 වෙනි දින උපන් සබීනා දරුවන් දෙදෙනෙකුගෙත් යුත් පවුලේ වැඩිමහල් දරුවායි. ඇයට තවත් බාල සොහයුරෙකු සිටි. ඇයගේ පියා මේ වන විට ඉංජිනේරු සේවා සපයන ව්‍යාපාරිකයකු බවට පත්ව සිටි. එලෙසම ඇයගේ අත ගත් ඇගේ ආදරණීය සැමියා වන සැකරියා යුසෆ් මුස්ලිම් සම්භවයකින් පැවත එන ඩෙන්මාර්ක් ජාතිකයකු වන අතර ඔහු ද එරට සුප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකරුවෙකි.

සබිනා ටී යුසෆ් දැනට ඩෙන්මාර්ක් හී පදිංචිව සිටී. නුදුරේදීම ඇය සිය සැමියා සමගින් ස්වීඩනය වෙත පදිංචිය සඳහා යාමට සූදානම්ව සිටී ඇය මේ වන විට ද්විත්ව පුරවැසි ලාභියෙකු ( Dual Citizens ) වන අතර දැනට ඩෙන්මාර්ක් හී පදිංචිව සිටියත් ඇය ශ්‍රී ලංකාවට මහත් ලැදියාවක් ඇති සහ මෙරටට දැඩි ලෙස ඇලුම් කරන්නියකි.

ඩෙන්මාර්ක් හී ඉතා ප්‍රසිද්ධ ඉංග්‍රීසි මාධ්‍ය ජාත්‍යන්තර පාසැලක් වන ” ටොක්ස්වර්ඩ් ” පාසලෙන් සිය මුලක අධ්‍යාපන කටයුතු නිමා කළ ඇය පසුව ඇගේ උසස් අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර අධ්‍යයනය යන තෙවදෑරුම් විෂයන් තෝරා ගත්තාය. එම විශේෂිත විෂයන් සමගින් සිය උසස් අධ්‍යාපන කටයුතු සිදු කළ සබීනා එම විෂයන් ඉතා ඉහළින් විශිෂ්ට සම්මාන පවා ලබාගනිමින් සමත්ව මෙවැනි අඩු වයසක දී තමාගේම ව්‍යාපාර කළමණාකරන ආයතනයක් පවත්වා ගෙන යයි. එලෙසම සිය ආදරනීය සැමියා වන සැකරියා යූසෆ් සමඟ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාර කිහිපයක් ද මේ වන විට පවත්වාගෙන යනු ලබයි.

මෙරට තුළ ඇය පිළිබඳව කතාබහට ලක්වන්නේ මීට වසර 09 කට පෙර එනම් 2016 වසරේ ඇය ” යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජිණ ” ලෙස කිරුළු පලන් මොහොතේ සිටය . එවකට ඇය උසස් අධ්‍යාපනය ලබන ( සබිනා ත්‍රෝසන් ) තරුණියකි. එලෙසම ඇගේ සහ ඇයගේ අත ගත් ආදරණීය සැමියා වන සැකරියා යුසූෆ් ගේ විවාහ මංගල උත්සවයද මෙරට තුළ ඉතා ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක් වූ විවාහ උත්සවයක් විය. එහිදී ඉපැරණි රාජ වාංශාක සාම්ප්‍රදායන්ට අනුකූලව ,එම සාම්ප්‍රදායන් නිරූපණය කරමින් එම විවාහ මංගල උත්සවය පවත්වනු ලැබීය. එම විවාහ මංගල උත්සවයේදී ඇය අශ්වයෙකු පිට පැමිණි අතර ඇගේ අත ගත් ආදරණීය සැමියා සැකරියා යුසුෆ් පැමිණියේ ඉපැරණි හෙළ රාජ වංශිකයෙකු ලෙස හස්තිරාජයෙකු පිටය.මේ හේතුන් නිසාම එය මෙරට තුළ පමනක් නොව ජාත්‍යන්තරය තුළද වැඩි අවධානයක් යොමු වූ ඉතා චමත්කාරජනක විවාහ මංගල උත්සවයක් බවට ද පත් විය. එලෙසම මෙම විවාහ මංගල උත්සවය ශ්‍රී ලාංකික විවාහ මංගල උත්සව කලාව සහ එම සම්ප්‍රදායන් වෙනත් නවමු දිශානතියකට යොමු කළ ඓතිහාසික වශයෙන් වැදගත් විවාහ මංගල උත්සවයක් ලෙසද සඳහන් කළ හැකිය.

රූප රැජිනියක් තේරීම යනු සමේ පැහැය සහ බාහිර චමත්කාරය ට පමණක් සීමා වුණු තරගයක් නොව අධ්‍යාපනික පසුබිම, උගත්, බුද්ධිමත් භාවය, හැසිරීම, සහ සමාජයට දක්වන ගෞරවය යනාදී ගුණාංග පිළිබඳවද විනිශ්චය කෙරෙන තරගයකි. මේ සියලු නිර්ණායකයන් ජයගෙන, ඒ අනුව 2025 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරන විවාහක රූ රැජිණිය ලෙස ඇයව තෝරා ගනු ලැබීය.

සබිනා ටී යුසූෆ් 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එම කිරුළ දිනා ගැනීමෙන් පසු මිගමුව කැපුම්ගොඩ ග්‍රාමයට පැමිණීමේ එම ඓතිහාසික අවස්ථාව පසුගිය 06 වැනි දින (06/10) සවස කැපුම්ගොඩ සාන්ත අන්තෝනී දේවස්ථාන මීසම් සංඝයේ ඇතුළු කැපුම්ගොඩ ප්‍රදේශයේ ජනතාව අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. එහිදී ඇයව විවෘත අශ්ව කරත්තයකින්, තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කරගත් අලංකාරවත් පා ගමනකින් ඇයව කැපුම්ගොඩ අංක 267/4 ස්ථානයේ පිහිට් ඇගේ නිවස වෙත කැඳවාගෙන යන ලදී. ඒ අතරතුර කැපුම්ගොඩ සාන්ත අන්තෝනී දේවස්ථානය වෙත පැමිණි ඇයට දේවස්ථානයේ මීසම් පාලක ගරු මාලක ප්‍රනාන්දු පියතුමා විසින් ආශිර්වාද මෙහෙයක් ද පැවැත්වීය. ඇයව නිවසට කැඳවාගෙන යාමේ එම අලංකාරවත් පා ගමන , ගමන් කරන අවස්ථාවේ මග දෙපස රැස්ව සිටි ජනතාව විසින් ඇය වෙත මල් කළඹ පිළිගන්වමින් හා ඔල්වරසන් නගමින් සුභ පැතුම් පිරිනැමූහ.

සබිනා මේ වන විටත් සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට ඇප කැප වී සිටි. පිළිකා රෝගීන් සහ වකුගඩු ආශ්‍රිත රෝගීන් වෙනුවෙන් අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇය ප්‍රමුඛව කටයුතු කරයි.

එලෙසම ඇය තමා වෙසෙන කැපුම්ගොඩ ග්‍රාමයේ ඇතුළු මීගමුව පුරවරයේ තම, ආදරනීය සහෝදර ජනතාවට සේවය කිරීමටද බලාපොරොත්තුවෙන් සිටි. විශේෂයෙන්ම මීගමුව පුරවරයේ දිළිඳු පාසල් දරුවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් නැන්වීම සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමට තමන් ඉදිරි කාලයේදී තම දායකත්වය ලබාදීමටද කටයුතු කරන බව ඇය පවසයි.

සබිනා ටී යූසෆ් සෑම විටම පවසන එක් වදනක් ඇත, එනම් ලොව ඕනෑම අයෙකුට හිස පැළඳිය හැකි මිල කළ නොහැකි අගනාම , වටිනාම කිරුළ අධ්‍යාපනය බවයි.ඒ අනුව ඇය ද සෑම විටම පාහේ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.

එසේ නම් එළඹෙන 2026 වසරේ, ජනවාරි මාසයේ, ඇමරිකාවේ ලස්වේගාස් නගරයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ තරඟය ජයගෙන ශ්‍රී ලංකාවට, සහ මීගමුව පුරවරයට අභිමානයක් සහ කීර්තියක් ගෙන එන්නට ඇය වෙත සියලු ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ශ්‍රී ලාංකික අප සැම දෙනම මෙලෙස මේ අපේ සොඳුරු රුවැත්තියට හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරමු.

ඡායාරූප ලබාදීමෙන් සහය වූ, කැපුම්ගොඩ, Salon Shellus හී අධිපතිනී, ෂර්මිලා රණවිර මහත්මියට විශේෂ ස්තූතිය පලකරමු.

සටහන: තුෂාර රොහාන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media