සාමදාන විනිශ්චයකාරවරුන්ට නව නීති: ජීවන සහතික, වයස් සීමා හා බලප්‍රදේශ සීමා ගැන අලුත් ගැසට් නියෝග

සාමදාන විනිශ්චයකාරවරුන්ට නව නීති: ජීවන සහතික, වයස් සීමා හා බලප්‍රදේශ සීමා ගැන අලුත් ගැසට් නියෝග

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාමදාන විනිශ්චයකාර ගරු තනතුර සඳහා ඉදිරියේදී බලපැවැත්වෙන නීති රීති හා නියෝග ගැන ඔබ දැනුවත් ද?

සාමදාන විනිශ්චයකාර තනතුර ගරු තනතුරකි. 2023.11.27 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සාමදාන විනිශ්චයකාරවරයාගේ ජීවන සහතිකය සෑම වසර දෙකකටම වරක් අධිකරණ අමාත්‍යංශයට යොමුකිරීමට සාමදාන විනිශ්චයකාරවරයා විසින් කටයුතු කළ යුතුය. ජීවන සහතිකයට අනුව අදාල සාමදාන විනිශ්චයකාරවරයා යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් යුතුව ගරු තනතුරේ කාර්යයභාරය ඉටුකිරීමට යෝග්‍යද යන්න පදිංචි වසමේ ග්‍රාම නිලධාරීවරයා සහ අදාල ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළ යුතු වේ. මෙම ගැසට් පත්‍රයට අනුව සාමදාන විනිශ්චයකාරවරු පසුගිය 2024 වර්ෂය සඳහා ජීවන සහතිකය ඉදිරිපත් කළ අතර 2026 වර්ෂය වනවිට එහි සඳහන් දෙවර්ෂය සම්පූර්ණ වීම නිසා නැවත ජීවන සහතිකය අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකිරීමේ කාලය එළඹ ඇත.

2023.11.27 දින අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් 2025.06.04 දින වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර සාමාදාන විනිශ්චයකාරවරු 2026 වර්ෂය සඳහා ජීවන සහතිකය ඉදිරිපත් කළ යුත්තේ නව අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ය.

එම නව ගැසට් පත්‍රයට අනුව පෙර ලබාදී ඇති සාමදාන විනිශ්චයකාර පත්වීම් සඳහා අගතියක් නොවන පරිදි නව පත්වීම් ලබාදීම් නියෝග සංශෝධනය කර ඇත. අධිකරණ අමාත්‍යවරයාගේ අභිමතය හා නියෝග අනුව මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරු පත් කිරීම නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇත. ඒ වෙනුවට පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා නව පත්වීම් සිදුකෙරේ. තවද වයස අවුරුදු 30ට නොඅඩු සහ වයස අවුරුදු 75ට නොවැඩි තැනැත්තන් සඳහා පමණක් නව සාමදාන විනිශ්චයකාර තනතුරු පත්කිරීම ඒ අනුව සිදුවේ. පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා පත්කරන සාමදාන විනිශ්චයකාරවරයා අනිවාර්යෙන්ම වසර 5ක් අදාල පරිපාලන දිස්ත්‍රික්කයේ තම කාර්යයභාරය ඉටුකළ යුතු අතර වසර 5ක සේවා කාලය සම්පූර්ණවීමෙන් පසුව මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි තම තනතුර සංශෝධනය කරගත හැකිය. ඒ සඳහා වසර 5ක සේවා කාලය සම්පූර්ණ වූ පසු අධිකරණ අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතු වේ.  ඒ සඳහා ඉල්ලීම් කළ හැක්කේ පරිපාලන දිස්ත්‍රික්කයක වසර 5ක් සේවය කර තිබීම හා අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ භාෂාවන්ට සම්මාන සාමාර්ථයක් සහිතව වෙනත් ඕනෑම විෂයයකට සම්මාන සාමාර්ථයක් සහිතව විෂයයන් හයක් සමත්වීම සහ උසස් පෙළ විභාගයෙන් ප්‍රධාන විෂයයන්ගෙන් එක් විෂයයක් සමත් ලෙස සුදුසුකම් සපුරා ඇත්නම් පමණි.

නව ගැසට් පත්‍රයට අනුව සාමදාන විනිශ්චයකාර තනතුර පෙර පැවති ජීවිත කාලය පුරාවට යන වගන්තිය සංශෝධනය කර වයස අවුරුදු හැත්තෑ පහට එළඹෙන තෙක් යනුවෙන් සඳහන්ව ඇත. එබැවින් මේ අනුව ලබාදෙන නව සාමදාන විනිශ්චයකාර පත්වීම, පත්වීම් ලාභියාට වයස අවුරුදු 75 සම්පූර්ණවීමෙන් පසු අහෝසි වේ.

නව අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජීවන සහතියක 2026 වර්ෂයේ සිට පෙර ගැසට් පත්‍රයේ නියෝගයට අනුව සෑම වසර දෙකකට වරක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකළ යුතුව ඇති අතර, එය පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී සහතික කිරීම, අදාල ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතික කිරීම සහිතව මෙන්ම අයදුම්කරු යහපත් ශාරීරික සහ මානසික තත්ත්වයකින් යුක්ත වන බව සහතික කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙකු විසින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් ද සමඟ ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ. මීට අමතරව නව ගැසට් පත්‍රයට අනුව සාමදාන විනිශ්චයකාරවරයෙකුට තම මව් භාෂාවෙන් සකස් කර ඇති ලේඛන සහතික කිරීමට බලතල ලබාදී ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති ලේඛන සහතික කිරීම සඳහා අදාල සාමදාන විනිශ්චයකාරවරයා සාමාන්‍ය පෙළ විභාගයේදී සමත් විෂයයන් හය ඇතුළත ඉංග්‍රීසි භාෂාව යන විෂයය සමත්වී තිබීම අනිවාර්ය කර ඇත. එසේ නොමැති නම් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලියවිලි සහතික කිරීමේ බලයක් එම සාමාදාන විනිශ්චයකාරවරයාට නොමැති බව පැහැදිලිව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media