ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සහ හෙට (13) දෙදින ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, අද පෙරවරු 8.30 සිට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
හෙට (13) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1,177ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් 5,000කට ආසන්න පිරිසකගේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද උපදෙස් ලබාදී ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්කයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය කිරීමට මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, පළාත් පාලන ආයතන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ ප්‍රජාමූල සංවිධානවල සහයෝගයෙන් ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.











Leave a Reply