කටුනායක 18 කණුවේ සිමෙන්ති කර්මාන්තශාලාවකට එරෙහිව ජනතා විරෝධයක් – පරිසරයට හා සංචාරක කර්මාන්තයට බලපෑම් ඇතිවීමේ අවදානමක්

කටුනායක 18 කණුවේ සිමෙන්ති කර්මාන්තශාලාවකට එරෙහිව ජනතා විරෝධයක් – පරිසරයට හා සංචාරක කර්මාන්තයට බලපෑම් ඇතිවීමේ අවදානමක්

කටුනායක ගුවන්තොටුපොළ 18 කණුව මංසන්ධිය ආසන්නයේ තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදිකිරීමේ මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම් වන බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (28) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ 2020 දෙසැම්බර් 10 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ ව්‍යාපෘතිය සඳහා මුල් සැලසුම් අනුමත කර ඇති අතර, 2025 දෙසැම්බර් 25 වැනිදා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන බලපත්‍රය නිකුත් කර ඇති බවයි.

ඔවුන් පවසන්නේ අක්කර 6 රූඩ් 1ක භූමි ප්‍රමාණයක මුලින් වර්ග මීටර් 3,857ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා අනුමැතිය ලබාගෙන තිබූ නමුත්, පසුව එය වර්ග මීටර් 12,925ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවක් දක්වා වෙනස් කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක ගුවන්තොටුපොළ අවට සංචාරක කලාපය, ජාත්‍යන්තර පාසල් කිහිපයක්, මීගමුව කලපුව ආශ්‍රිත ධීවර ජනතාව, ලියනගෙමුල්ල කඩොලාන සංරක්ෂිත වනාන්තරය සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත ප්‍රදේශ රැසකට පරිසර හා සමාජීය බලපෑම් ඇතිවිය හැකි බව විරෝධතාකරුවන් පෙන්වා දෙති.

මෙම විරෝධතාව සඳහා ප්‍රදේශයේ බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන්, ධීවර ජනතාව, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන නියෝජිතයන් සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම මැදිහත්ව පරිසර හා සමාජ බලපෑම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media