වේයන්ගොඩ පත්තල ගෙදර පිහිටි සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය රටට වසර 40ක් පුරා ප්රමුඛ සේවය පිරිනමීම සනිටුහන් කරමින් “සියනෑ අබිමන් 2025” සංවත්සර උලෙළ පසුගිය (19) වන දින අධ්‍යාපන විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරයේදී උත්සවත් ශ්‍රීයෙන් සිදු විය.
උත්සවයේදී අදාල වශයෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධනය, විද්‍යා පීඨවල ගැටලු, අභියෝග සහ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක අදහස් ද පළ කරන ලදී.
ඒ අනුව, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් ඉරෝෂිණී පරණගම මහත්මිය මේ අවස්ථාවේදී සඳහන් කළේ,
- ලංකාවේ විද්‍යා පීඨ බොහොමයක් සැලැස්මක් අනුව ඉදිවී තිබූවත් සංවර්ධනයේ ප්‍රමාදයක් ඉතිරි වී ඇති බව,
- මේ වසරට ඉලක්ක කර තිබූ මූලික සනීපාරක්ෂක වැඩසටහන් පවත්වාගෙන යාම සාර්ථක නොවූ බව,
- මුදල් ප්‍රතිපාදන ලබා තිබූවත් ප්‍රාදේශීය මට්ටමේ ඇස්තමේන්තු සකස් කිරීමේදී බාධා බහුලව ඇති වූ බවයි.
“සියනෑ අබිමන් 2025” උලෙළේදි කලා, සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණි.
පීඨාධිපතිනි ප්‍රියා කරුණාතිලක මහත්මිය සඳහන් කළේ, සියනෑ පීඨය වසර 40 පුරා ගුණාත්මක ගුරු අධ්‍යාපනය සඳහා පුරෝගාමී වූ අතර අනාගතයේද නවෝත්පාදන භාවිතයෙන් ගුරු අධ්‍යාපන ක්ෂේත්රය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති බවයි.
මෙම සම්භාව්‍ය උලෙළට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, පීඨයේ වත්මන් සහ පූර්ව ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් ද ඇතුළුව බහුතරයක් සහභාගි වී සිටියහ.











Leave a Reply