දළුපත එළිමහන් බන්ධනාගාරය පොසොන් සිරියෙන් බැබළෙයි – රැඳවියන්ගේ නිර්මාණශීලීත්වයෙන් අලංකාර වූ පොසොන් කලාපයක්

දළුපත එළිමහන් බන්ධනාගාරය පොසොන් සිරියෙන් බැබළෙයි – රැඳවියන්ගේ නිර්මාණශීලීත්වයෙන් අලංකාර වූ පොසොන් කලාපයක්

මීගමුව දළුපත විශෝධන මධ්‍යස්ථානය හෙවත් දළුපත එළිමහන් බන්ධනාගාර පරිශ්‍රය මෙවරද පොසොන් සමය වෙනුවෙන් අලංකාර පොසොන් කලාපයක් ලෙස නිර්මාණය කර තිබේ.

භක්තිය, කරුණාව, සමාජ යහපත සහ පුනරුත්ථාපනය යන උතුම් සංකල්ප මුල්කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම පොසොන් කලාපයේ ප්‍රධාන ආකර්ෂණය ලෙස “තෝදෙයිය බ්‍රාහ්මණ” කතා වස්තුව ඇසුරින් නිර්මාණය කළ විචිත්‍රවත් පොසොන් තොරණ දැකගත හැකිය.

මෙම තොරණ මඟින් බුදු දහමේ ගැඹුරු පණිවිඩ වන දමනය, මෛත්‍රිය, කරුණාව සහ යහපත් මඟට හැරීමේ වටිනාකම ජනතාවට සරලව හා ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර තිබේ.

දළුපත බන්ධනාගාරයේ සහකාර අධිකාරී එල්.එස්.පී. ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේ එකමුතුවෙන් මෙම පොසොන් කලාපය සංවිධානය කර ඇත.

රැඳවියන්ගේ දෑතින් නිමවූ තොරණ, පහන් කූඩු සහ විවිධ කලා නිර්මාණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒවා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, ආගමික හැඟීම් සහ යහපත් සමාජයකට නැවත එක්වීමේ බලාපොරොත්තුව මනාව පිළිබිඹු කරයි.

මෙම පොසොන් කලාපය තුළ පහන් කූඩු ප්‍රදර්ශන හා තරග, මිහින්තලා අනුරූ, භක්ති ගීත ප්‍රසංග, දන්සැල් සහ විවිධ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම විශේෂ පොසොන් කලාපය දින තුනක් පුරා ක්‍රියාත්මක වන අතර, රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියට නව ජවයක් එක් කරන ආදර්ශවත් වැඩසටහනක් ලෙස සැලකේ.

සටහන සහ ඡායාරූප : අකිලා නදීෂානි බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media