තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන්ගේ ජාලයට සම්බන්ධ “මහමුද් මොහොමඩ්” රිමාන්ඩ්

තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන්ගේ ජාලයට සම්බන්ධ “මහමුද් මොහොමඩ්” රිමාන්ඩ්

තායිලන්තයේ සිට “කුෂ්” සහ “හෑෂ්” නැමැති මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇති චීවරධාරීන් 23 දෙනා සමඟ සම්බන්ධතා පවත්වා මත්ද්‍රව්‍ය හා මුදල් ගනුදෙනු සිදු කළ බව කියන “මහමුද් මොහොමඩ්” නැමැත්තා ලබන මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය ඊයේ (14) නියෝග කළාය.

මෙම සැකකරු රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පසුගිය අප්‍රේල් 25 වැනිදා තායිලන්තයේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූයේ ඔවුන්ගේ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයා ගැනීමත් සමඟය.

එහිදී සිදුකළ විමර්ශනවලදී අඟුණකොළේ අමිතානන්ද හිමියන් විසින් මෙම ජාලය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. අනතුරුව උන්වහන්සේ ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරමට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන “මහමුද් මොහොමඩ්” නැමැත්තා කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු විසින් මෙම චීවරධාරීන්ගේ සංචාර සඳහා මුදල් ලබාදී ඇති අතර රුපියල් 10,000 සහ 20,000 බැගින් බැංකු හරහා විශාල ගනුදෙනු සිදුකර ඇති බවයි.

එමෙන්ම, අඟුණකොළේ අමිතානන්ද හිමියන් විසින් පවත්වාගෙන ගිය WhatsApp සමූහයක් හරහා මෙම පිරිස සම්බන්ධීකරණය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළේ අමිතානන්ද හිමියන්, චීවරධාරීන් 22 දෙනා සහ මහමුද් මොහොමඩ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් චීවරධාරීන් තිදෙනෙකු සහ මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media