,

පෝස්ටර් ඇඳගෙන පටන්ගත් ගමන — අද මිනුවන්ගොඩ ඉංග්‍රීසි ලෝකය ගොඩනගාගත් ගුරු තරුව

පෝස්ටර් ඇඳගෙන පටන්ගත් ගමන — අද මිනුවන්ගොඩ ඉංග්‍රීසි ලෝකය ගොඩනගාගත් ගුරු තරුව

ගම්පහ නිවුස් හීන වලට පාර කියන ගුරු තරු විශේෂාංගය අරගෙ අද අපි ආවේ මිනුවන්ගොඩ ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඇකඩමි නිර්මාතෘ අරුණෝද මංචනායක නම් වූ ප්‍රවීන ඉංග්‍රීසි ගුරුවරයා හමුවෙන්නයි. මිනුවන්ගොඩ සති පොල පරිශ්‍රයට පිටුපසින් මේ දැවන්ත අධ්‍යාපන ආයතනය තියෙන්නේ. වසර 30කට අධික කාලයක් මිනුවන්ගොඩ ඉංග්‍රීසි භාෂාවේ දැවැන්තයා ලෙස අදටත් කීර්තියට පත්ව සිටින අරුණෝද මංචනායක ආදරණීය ගුරුවරයා සමඟ සාකච්ඡාව අපි මෙසේ ආරම්භ කළා.

Q. ඔබගේ නම, ගම, පාසල් ගියේ කෙහෙද?

මම උපන්නේ මිනුවන්ගොඩ. ඉස්කෝලේ ගියේ මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයට. මම උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා.

Q. උපකාරක පන්ති ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලවකවානුවකද?

දැන් වසර 30කට වැඩියි මම ක්ෂේත්‍රයට ඇවිත්. මට ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුණා ඉංග්‍රීසි නැමියාවක්. ඒක උපතින් එන්න ඇති. පන්තියේ ඉංග්‍රීසි විෂයයට වැඩිම ලකුණු ගත්තේ මම. උසස් පෙළට මම ඉංග්‍රීසි සාහිත්‍ය කළා. ඒ කාලේ මට හමුවුණා සමන් බන්ඩාර කියලා ගුරුවරයෙක්. එයා මිනුවන්ගොඩ කලාස් කළා ඉස්සර. මාස 4-5ක් මම සර්ගේ ක්ලාස් ගියා. ගිය කාලය තුළ සර්ට මාව මතකයේ තිබිලා තියෙනවා. දිගටම පන්ති යන්න ආර්ථිකයක් තිබුණේ නැති වකවානුවක් ඒ කාලේ.

මම ඒලෙවල් කරලා ඉන්න කාලේ ටවුමේ අවිද ඇවිද ඉන්න වෙලාවක සමන් බණ්ඩාර සර්ව නැවත හමුවුණා. සර් කිව්වා ස්පෝකන් ක්ලාස් එකක් තියෙනවා එන්න කියලා. ඒකට ගියා. කොස් එක සම්පූර්ණයෙන් ෆලෝ කළා. සර්ම මට ක්ලාස් එකක් කරන්න කියලා ළමයි 5-6ක් එක්ක 7වසර පන්තියක් භාරදුන්නා. ඒ පටන්ගැන්ම දිගටම අද දක්වාව ඉදිරියට ආවා.

Q. ඔබගේම ආයතනයක් පටන් ගන්නේ කොහොමද?

ඉස්සෙල්ලාම අවුරුදු 5ක් විතර තැන් තැන් වල ක්ලාස් කළා. ඊට පස්සේ මම මගේම තැනක් ආරම්භ කළා රෙන්ට් එකට තැනක් අරගෙන. එතැනින් තව තැනකට ගියා. එතැනින් තවත් තැනකට ගියා. ඔහොම ඉන්නකොට බෑන්ක් ලෝන් එකක් දාලා මිනුවන්ගොඩ පොල පිටුපස තැන අරගෙන මෙතැන පටන් ගත්තා. මුලින්ම මෙතැන පර්චස් 10ක් අරගෙන ආවේ. ඉන්න ගමන් මේ වටේ තියෙන ඉඩම් කොටස කොටස අරගෙන මේ වපසරිය ලොකු කරගෙන වර්ථමානයේ තියෙන තත්ත්වයට ගොඩනැගුවා.

Q. ඔබගේ ජීවිතය මේ විදිහට වෙනස් වෙන්න හේතු සාධක වුණ කරුණු මොනවද?

සමන් බණ්ඩාර සර්ව හමුවීම තමයි මගේ ගමනාන්තය මෙය වීමට බලපෑවේ. සමන් බණ්ඩාර සර් හමු නොවුණා නම් මම ටියුෂවන් ෆීල්ඩ් එකට නොඑන්න තිබුණා. එයා මුණනොගැසුණා නම් මම ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්නේ නැහැ. එහෙම හීනයක්වත් මගේ හිතේ තිබුනෙත් නැහැ. බස් ස්ටෑන්ඩ් එකේ රස්තියාදු ගහනකොට අහම්බෙන් නේ සර්ව නැවත මට හමුවෙන්නේ.

සර් මගෙන් ඇහුවේ කොල්ලෝ අරුණෝද මොකද දැන් උඹ කරන්නේ කියලා.

මම කිව්වා මොකුත් නැහැ සර් කියලා…

ආ… වරෙන් වරෙන් මගේ ක්ලාස් එකට වරෙන්…

මට හොඳටම මතකයි ඔය ටික තමයි ඒ හමුවීමෙදි සර් සහ මම අතර සංවාදය වුණේ.

Q. වසර 30කට අධික කාලයක සිට මේ දක්වා මේ ගමන එන්න ඔබ දරපු මහන්සිය, කළ කැපකිරීම් මොනවද?

අපි ටියුෂන් පටන් ගත්ත කාලේ පෝස්ටර් අපිම ඇඳගත්තේ. ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට රෙදි ගෙනැල්ලා, ලී වලින් ප්‍රේම් හදලා අපිම බැනර් එක හදලා, අපිම ගිහිල්ලා අලවනවා සවිකරනවා. පහුවදාට පන්තිය ගාවට වෙලා බලාගෙන ඉන්නවා ළමයි එනකන්. එක ළමයෙක්වත් එන්නේ නැති අවස්ථා තිබුණා. ළමයි දෙන්නයි පන්තියට, ඒ දෙන්නා වෙනුවෙන් අවුරුද්දක් ක්ලාස් එක ඇදගෙන ගිය අවස්ථා තිබුණා. මුල ඉඳලම මගේ පන්ති වල විනයක් හැදුවා. ෆෝන් එකක් වත් පන්තියට ගේන්න දෙන්නේ නැහැ.

  • මගේ ක්‍රමය මිනිස්සු අතර කතාබහට ලක් වුණා. මෙයා ගාවට ගියොත් හැදිලා තමයි එළියට එන්නේ කියලා මිනිස්සු කතා කරන්න ගත්තා. දැනට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වැඩිම පහසුකම් දීලා අඩුම මුදලක් අය කරන්නෙත් මම. අද ටියුෂන් ෆීල්ඩ් එක බලුවෙලා තියෙන්නේ මුදල් මත දුවන නිසා. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක්ක කරගෙන ගිය නිසා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නේ. මම වැඩක් කරනවා නම් හරියට කරනවා, බැරි නම් දාලා නිකන් ඉන්නවා කියන පදනම මත තමයි මම වැඩ කරන්නේ.

Q. මේ වනවිට ඔබගේ ව්‍යාපාර ක්ෂේත්‍රය විකාශනය වෙලා තියෙන්නේ කොහොමද?

පරිගණක විද්‍යාගාරයක්, විද්‍යාව විෂය සඳහා ලැබ් එකක් ඇතුළු සියළුම පහසුකම් සහිත උපකාරක පන්ති ආයතනයක් මිනුවන්ගොඩ නගරය මධ්‍යයේ මම පවත්වාගෙන යනවා.

ඉංග්‍රීසි භාෂාවට අමතරව අනෙකුත් සාමාන්‍ය පෙළ විෂයයන් සියල්ලටම උපකාරක පන්ති පැවැත්වෙනවා. උසස් පෙළටත් යම් යම් විෂයයන් කිහිපයක් සඳහා පන්ති පැවැත්වෙනවා.

නවීන පහසුකම් සහිත, නවීන යන්ත්‍ර උපකරණ වලින් යුත් සියළුම මුද්‍රණ කටයුතු සිදුකරන මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා.

Q. ඔබේ ආයතනය තුළ ඔබ පවත්වාගෙන යන ආයතනික විනය පද්ධතිය ගැන කිව්වොත්

මුල්ම දේ තමයි අපි ආයතනයක් විදිහට ලබාදෙන පහසුකම්. නවීන ශාලා පහසුකම්, නවීන සනීපාරක්ෂක පහසුකම්, ළමයින්ට ක්‍රීඩා කරන්න පිට්ටනියක් පවා තියෙන එකම ටියුෂන් එක වෙන්න ඇති මේක. අධ්‍යාපනය ලබාදෙන එකෙත් විද්‍යාවක් තියෙනවනේ. ඉගෙනීමත් එක්ක ළමයෙක්ගේ හැම පැත්තක්ම සංවර්ධනය වෙන්න ඕනේ. ළමයා පරිසරය එක්ක ඉන්න ඕනේ, දරුවා ක්‍රියාශීලිව ඉන්න ඕනේ, ක්‍රීඩා කරන්න ඕනේ, සමාජ ඇසුර කියන දේ තියෙන්න ඕනේ.

මගේ ක්ලාස් එකක ළමයෙක් අනිවාර්යෙන්ම පොතකට පිට කවරයක් දාන්නම ඕනේ. වැඩ කරද්දි දිනය දාන්න ඕනේ. මගේ ළමයෙක් වාක්‍යයක් අවසානයේ තිත තියලා නැත්නම් මම දාන්නේ ඒ වාක්‍යයට වැරදි ලකුණ. කිසි දවසක full stop එකක් නැති වාක්‍යයකට හරි ලකුණක් දාන්නේ නැහැ. ඒ තරම් අපි සියුම් අයුරින් දරුවගේ විනය දිහා බලලා දරුවව විනයගුරුක කරන්න කටයුතු කරනවා.

මගේ ආයතනය ගැන සමාජයට විනයානුකූලයි කියන ඉමේජ් එක රැගෙන ගිහින් තියෙනවා.

Q. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අද මේ කතාවෙන මොඩියුලර් ක්‍රමය ගැන දරන අදහස කුමක්ද?

පොඩි විවේචන ටිකක් මට ඔය මොඩියුලර් සම්බන්ධව තියෙනවා. පන්ති කාමරය ඉස්සරහට ගිහිල්ලා ගුරුවරයට උගන්වන්න එපා කියන ක්‍රමයක් තමයි තියෙන්නේ. ළමයින්ට උගන්වන්න එපා, උගන්වන්නේ නැතිව ළමයට ස්වයං අධ්‍යයනයක ඉගෙනගෙන යන්න දෙන්න, මොඩියුලර් එක අතට දෙන්න, එයා වැඩේ ඉගෙනගෙන යයි, එයාට බැරි තැනක් ආවෙත් සපෝට් එකක් දෙන්න. ඒකත් දරුවා ප්‍රශ්නයක් ඇහුවොත් පමණක්.

ඒක මෙහෙම කියමු. ළමයි ටිකක් ඉන්නවා. ඔක්කොටම බයිසිකල් දෙනවා. කොහොමද පදින්නේ කියලා කියලා දෙන්නේ නැතිව. කවුරු හරි ළමයෙක් කලින් බයිසිකලයක් කොහෙ හරි පැදලා තිබුණොත්, පදිනවා දැකලා තිබ්බොත්, එහෙන් මෙහෙන් අතපත ගාලා පදින විදිහ අවබෝධ කරගත්තොත් සමහර දෙනෙක් බයිසිකල් පදීවි, සමහරවිට කාටවත් බැරිවේවි. සමහරු බයිසිකල් පොළවේ ගසාවි, තව සමහරු කරේ තියාගෙන යාවි, තව කෙනෙක් කෑලි ගලවාවි ඒ වගේ කියා දීමකින් තොරව යමක් දුන්නහම තමන්ට හිතෙන හිතෙන දේ කරාවි. අවසර තියෙන්නේ මේක කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් දරුවෙක් ඇහුවොත් විතරක් තමයි ගුරුවරයට මේ ගැන කියාදෙන්න පුළුවන්.

  • මේ මොඩියුලර් ක්‍රමය තුළ මම දකින්නේ බැරි පුළුවන් අව වෙන්කරගෙන පුළුවන් අයට පුළුවන දේ කරන්නත් බැරි අයට කරන්න පුළුවන් වෙනත් දෙයක් හඳුන්වා දෙන්නත් යන කාරනා ඉටුකරගන්නයි මේ ක්‍රමය තියෙන්නේ කියලා.

මොඩියුලය අතට දීලා දරුවට මේක කරගනින් කියලා කිව්වට තමන්ගේ ගෙදර පහසුකමක් නැති, කලින් අධ්‍යාපන පසුබිමක් ලැබිලා නැති, ඉන්න පරිසරයේ අධ්‍යාපනයට පහසුකම් හෝ සුදුසු පරිසරයක් නැති දරුවෙක් කොහොමද එක පාරටම මොඩියුර් එකක් ස්වයංව ඉගෙනගන්නේ. දරුවෙකුට මඟපෙන්වීමක් තියෙන්නම ඕනේ. මේ ක්‍රමයේ අසාර්ථකභාවයක් තියෙනවා. සමාජයට ශ්‍රමිකයෝ බිහිකරන්න ගත්ත උත්සාහයක් වශයෙන් තමයි මේ මොඩියුලර් ක්‍රමය මම දකින්නේ.

මම කරගෙන ගිය විදිහටම තමයි ඉගැන්වීම් කරන්නේ, සියළුම ශිල්ප ශාස්ත්‍ර වල විනයක් තියෙන්න ඕනේ. මොඩියුර් ආවා කියලා මං මගේ ටීචින් මෙතර්ඩ්ස් වෙනස් කරන්නේ නැහැ. මොඩියුර් ක්‍රමයේ අදාල කොටස විතරක් මගේ ක්‍රමයට මම එකතු කරනවා. මොඩියුලර් ක්‍රමය ඇති කළේ ටියුෂන් නවත්වන්න කියලනේ කියන්නේ. මං හිතනවා ඒකෙන් වෙන්නේ ටියුෂන් වලට ළමයි තව වැඩිවෙයි කියලා. මොකද කොයි අම්මා තාත්තත් කැමති තමන්ගේ දරුවට හොඳට උගන්වන්න නේ. ඉස්කෝලේ ගුරුවරයට උගන්වන්න එපා කියනවා නම්, දරුවට කොහෙන් හරි උගන්වන්න දෙමාපියන් පෙළඹෙනවනේ.

මොඩියුලර් ක්‍රමය සාර්ථකයි නම් මේ වෙනකොට 6 වසරට ළමයි අඩුවෙන්න ඕනෙනේ ටියුෂන් වලට මගේ ක්ලාස් එකේ ළමයි 20-30 වැඩි වුණා.

මේ මොඩියුලර් ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ සමහරවිට විවිධ කාර්යයන් සඳහා ශ්‍රම බලකාය බිහි කිරීමේ හෝ නිර්මාණය කිරීමේ අරමුණ ඉටුකරගන්න වෙන්න පුළුවන්.

අපිට තවම ඉතින් කියන්න බැහැ බලන් ඉමු ක්‍රියාත්මක වෙලා ඉදිරියට යන දිහා.

Q. ක්ෂේත්‍රයේ ප්‍රවීන ගුරුවරයෙක් විදිහට අද ටියුෂන් ෆීල්ඩ් එක ගැන කොහොම අදහසක්ද තියෙන්නේ.

මම අවුරුදු 30කට අධික කාලයක් මිනුවන්ගොඩ ලීඩින්. කිසිම දවසක මම දෙක වෙලා නැහැ කාටවත්. ඒක නිසා අද ෆීල්ඩ් එකට අලුතෙන් එන ගුරුවරුන් බැළුවහම එයාලට හොඳ කියවීමක් නැහැ. අපි විෂයය ගැන පුළුල් කියවීමක් කරලා තමයි මේ තැනට ඇවිත් තියෙන්නේ. අද පූර්ව සූදානමකින් තොරව ඕනෑම තැනක් උගන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි පුළුල් කියවීමක් ඇතිව මෙතැනට ආව නිසා.

යන්තම් එහෙන් මෙහෙන් කොහොම හරි විභාග ටික ගොඩදාගත්තා, ඊට පස්සේ කොහොම හරි වේගයෙන් සල්ලි හොයන්න ඕනේ අද ෆීල්ඩ් එකට එන අයට. ඇවිල්ලා කරන්න පුළුවන් ලාබාල, බොළඳ වැඩ සියල්ලම කරලා සල්ලි හොයන්න තමයි බලන්නේ. අද සමහර ලාබාල ගුරුවරු දැකලා තියෙනවා පන්ති කාමරයට ගිහින් උගන්වන එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා. ගමන් යනවා, ට්‍රිප් යනවා, සෙල්ෆි ගහනවා ඔක්කොම කරනවා උගන්වන්නේ නැහැ.

අද බලන්නේ ළමයාව කොහොම හරි තමන්ගේ යාළුවෙක් කරගෙන දිගටම පන්තියට ගෙන්ව ගන්න. ශිෂ්‍යයාට ශිප්‍යයාගේ තැන දෙන්න ඕනේ. ගුරුවරයා ගුරුවරයාගේ තැන ආරක්ෂා කරගන්න ඕනේ. ගුරුවරයා විෂයෙන් සන්නද්ධ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. වේගවත් මුදල් බලාපොරොත්තුවෙන් කරන්න තියෙන පහත් වැඩ කරන එක නවත්වන්න ඕනේ. කට්ට කාගෙන ගිහින් සොලිඩ් වෙන්න ඕනේ.

Q. එදා ගෝලයා සහ අද ගෝලයා ගැන කොහොමද සන්සන්දනය

එදා ළමයින්ට වඩා අද ළමයි ගොඩක් වෙනස්. නමුත් ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කාලේ ඉස්කෝලේ 6-7 ළමයෙක් ප්‍රේම සම්බන්ධතාවයකට පැටළුණා කියන එක අහන්නවත් ලැබෙන්නේ නැති තරම්. නමුත් අද 6-7 උන් ලව්. ඒක ළමයින්ගේ වරද නෙමෙයි. අද ළමයින්ව ඒ තැනට අරගෙන ඇවිත් තියෙන්නේ.

ගෙදර ටීවි එක බලන්න. උදේ ඉඳන් රෑ වෙනකන් ලව් ස්ටෝරි. හවසට ගෙදර එන අම්මයි තාත්තයි විඩාව නිවාගන්න ෆෝන් එකෙන් බලන්නෙත් ඒ වගේ ස්ටෝරි. ළමයට හැම තැනම දකින්න තියෙන දේවල් එක්ක ළමයා දැන් එතැනට ගෙනැල්ලා ඉවරයි. අද ළමයි පිරිහිලා කියලා ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ. ඒක ළමයින්ගේ වරදක් නෙමෙයි. මේවට සම්පූර්ණම මාධ්‍ය වගකියන්න ඕනේ. අද ළමයෙක් එක්ක ඉඳගෙන එකට බලන්න පුළුවන් නාට්‍ය සම්ප්‍රදායක් මාධ්‍ය තුළ නැහැ. දෙබස්, රූප රචනා සියල්ලම විකෘති තියෙන්නේ. කිසිම වගකීමක් නැතිව මාධ්‍ය සහ වැඩිහිටියන්ගේ හැසිරීම් නිසා තමයි දරුවන් අද ඒ වගේ වෙලා තියෙන්නේ.

Q. හිතන විදිහට ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සහ සම්බන්ධතාවය කොහොමද පවත්වාගෙන යන්න ඕනේ

ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සහ සම්බන්ධතාවය ඕනෑවට වඩා දියාරු කරන්න හොඳ නැහැ. ශිෂ්‍යයාගේ හිතේ තමන්ගේ ගුරුවරයා කෙරෙහි නිරායාසයෙන්ම එන ගෞරවයක් තියෙන්න ඕනේ. අපිට උගන්වපු ගුරුවරයෙක් අද මෙතැනට ආවොත් අපි නිරායාසයෙන්ම නැගිටවෙනවා. දණ ගහලා වඳිනවා. අද ශිස්‍යාවත් අපි ඒ තත්ත්වයට හදන්න ඕනේ. ඒ ගෞරවය හැමදාම තියෙන්න ඕනේ, පවතින්න ඕනේ.

ළමයට යමක් ලැබෙන විදිහේ එන්ටටේට්මන්ට් එකක් පන්තියක් තුළ ගියාට කමක් නැහැ. ශිෂ්‍යයාට කිසිවක් නොලැබෙන එන්ටර්ටේට්මන්ට් එකක් පන්තියක වෙනවා නම් ඒවා පිස්සු වැඩ. අධ්‍යාපනයත් එක්ක බද්ධ වෙලා යන එන්ටර්ටේට්මන්ට් පන්තියක කළාට ගැටළුවක් නැහැ. එහෙම නැතිව ළමයි තියාගන්න සෝබන වැඩ එන්ටර්ටේට්මන්ට් විදිහට කරන්න හොඳම නැහැ.

Q. පවත්වාගෙන යන ක්ෂේත්‍රයන්ට අමතරව තව මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඉස්සරහට මම ටියුෂන් වැඩ ටිකක් අඩු කරන්න හිතාගෙන ඉන්නවා. දැන් ඇති ඉතින් අවුරුදු 30කට වැඩි කාලයක් එක දිගට රැඳිලා හිටියනේ.

තැම්පත්ව ලේඛන කලාවට පූර්ණ කාලීනය පිවිසෙන්න තමයි මගේ අදහස. මම දැනටමත් ළමා නව කතා කිහිපයක් ලියලා තියෙනවා, යොවුන් නවකතා දෙකක් ලියලා තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට ගයිඩ්ස් බුක් කිහිපයක් කරලා තියෙනවා.

Q. සාකච්ඡාව තුළින් මතුවුණ ඔබගේ ලේඛන කලාවට ඔබ අවතීර්ණ වුණේ කොහොමද?

මීට වසර 10-15කට පෙර ඉඳන් මම ලේඛකයෙක් විදිහට කටයුතු ආරම්භ කළා. පාසල් කාලයේ ඉඳන්ම සාහිත්‍ය නැමියාවක් තිබුණා. විශාල වශයෙන් පොත් පත් කියවනවා. අදටත් මම කියවීම බොහොම ආශාවෙන් කරනවා. මං සතුව පෞද්ගලික පොත් විශාල සංඛ්‍යාවක එකතුවක් තියෙනවා මගේ පෞද්ගලික පුස්තකාලයේ. ළමයින්ට ලියන්න තමයි මම පටන් ගත්තේ. ඒ ආරම්භය තමයි මේ වැඩිදියුණු වෙමින් යන්නේ.

තව පොත් දෙකක් මුද්‍රණය කරලා පබ්ලිෂ් කරන්න තියෙනවා. මං ගාව අවශ්‍ය කරන සියළුම දේවල් තියෙන නිසා ඉදිරියේදී මම පූර්ණ කාලීන ලේඛකයෙක් විදිහට කටයුතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

මිනුවන්ගොඩ කීර්තිමත් ඉංග්‍රීසි ගුරුවරයා ලෙසින්ම ඉදිරියේදී සුපතල කීර්තිමත් ලේඛක අරුණෝද මංචනායක නම් වූ කතුවරයා ඉතා ඉක්මණින් සමාජගතවෙනවා දකින්න ලැබේවා කියලා ගම්පහ නිවුස් අපි ප්‍රාර්ථනා කරනවා.

2 responses to “පෝස්ටර් ඇඳගෙන පටන්ගත් ගමන — අද මිනුවන්ගොඩ ඉංග්‍රීසි ලෝකය ගොඩනගාගත් ගුරු තරුව”

  1. Gayantha Pandula Jayasekara Avatar
    Gayantha Pandula Jayasekara

    සත් ගුරුවරු!

    සුබ පැතුම් සර්.

  2. Saman bandara Avatar
    Saman bandara

    I am indeed very happy to have such a grateful Student like you. But in addition, You have come up to be such a brilliant star in the field of tuition due to your utmost talents,skills and dedication putha. I wish you all the success.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media