තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට “කුෂ්” සහ “හෑෂ්” නමැති මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට චෝදනා එල්ල වී සිටින චීවරධාරීන් 23 දෙනා එළැඹෙන මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය නියෝග කළාය.
අදාළ චීවරධාරීන් පිරිස අද (12) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
පසුගිය අප්‍රේල් 25 වැනිදා තායිලන්ත සංචාරයකින් මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන්ගේ ගමන් මලුවල සඟවා තිබූ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයාගැනීමෙන් අනතුරුවය.

විමර්ශනවලදී අඟුනකොළේ අමිතානන්ද හිමියන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති අතර, පසුව උන්වහන්සේ ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන “මහමුද් මොහොමඩ්” නමැති පුද්ගලයෙකුද කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
අධිකරණයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර, අදාළ නිලධාරීන්ට මැයි 26 වැනිදා අධිකරණයට පැමිණ හේතු දැක්වීමටද නියෝග කර තිබේ.
එමෙන්ම විමර්ශනවලදී චීවරධාරීන් අතර වට්ස්ඇප් සමූහයක් හරහා මෙම සංචාරය සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති බවටද අනාවරණ වී ඇතැයි අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි.
සටහන : තුෂාර රොහාන් ප්‍රනාන්දු











Leave a Reply