මීරිගම නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ රහසිගත කසිප්පු ස්කාගාරයක් වටලා ගෝඩා බැරල් 30ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීරිගම නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ රහසිගත කසිප්පු ස්කාගාරයක් වටලා ගෝඩා බැරල් 30ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීරිගම නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ පිහිටි සුවිශාල නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලා, ගෝඩා බැරල් 30ක් සහ පෙරන ලද කසිප්පු බෝතල් 500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා (06) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණේගොඩ හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය අනාවරණය කර ඇත.

පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව සැක සහිතව ගමන් කරමින් තිබූ වෑන් රථයක් මීරිගම නගරයේදී පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධි මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, එම රථයේ සිටි පුද්ගලයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම රහසිගත ස්කාගාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව සිදු කළ වැටලීමේදී, බැරල් 30ක තිබූ මිලීලීටර් 5,400,000ක ගෝඩා ප්‍රමාණයක් විනාශ කර ඇති අතර, නීතිවිරෝධි මත්පැන් බෝතල් 500ක් හා මත්පැන් පෙරීම සඳහා භාවිත කළ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී මෙම නිවස කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මාස හතරකට පමණ ඉහතදී කුලියට ලබාගෙන ඇති බවත්, පැය 24 පුරාම මෙම ස්කාගාරය ක්‍රියාත්මක කර මත්පැන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත් හෙළි වී තිබේ. මෙම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය සඳහා යූරියා භාවිත කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media