විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු සහ වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන රනිල් තරංග විතාරණ මහතා මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකාර මන්ත්‍රීවරයා මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
නඩු වාර්තාවට අනුව, මීගමුව තලාදූව පාරේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 230,000ක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම මුදලින් රුපියල් 200,000ක් සැකකරුගේ බැංකු ගිණුමකට තැන්පත් කර ඇති අතර ඉතිරි රුපියල් 30,000 අත්පිට ගෙවා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි විදේශ රැකියාව ලබා නොදී මුදල් වංචා කළ බව පවසමින් අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුට විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේ බලපත්‍රයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර නොමැති බවයි. එමෙන්ම විදේශ රැකියාවක් ලබාදීමේ ගිවිසුමක් හෝ ලිඛිත සාක්ෂි නොමැති බැවින්, කාර්යාංශයට නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමේ සීමා පවතින බව ද වාර්තා වේ.
ඒ අනුව, පැමිණිලිකරුට සහනයක් සැලසීම සඳහා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ජුනි 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.











Leave a Reply