ලොව පුරා පියවරුන්ගේ ආදරය, කැපවීම සහ වගකීම් සිහිපත් කරමින් සමරනු ලබන ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය (Father’s Day) අද (21) දිනට යෙදී තිබේ.
සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය පියවරුන් වෙනුවෙන් වෙන් කර ඇති අතර, ලොව බොහෝ රටවල් මෙම දිනය විශේෂ උත්සව හා සැමරුම් වැඩසටහන් මගින් අර්ථවත් ලෙස සමරයි.
පියවරුන්ගේ දිනයේ ඉතිහාසය 1910 වසර දක්වා දිව යන අතර, එය මුල්වරට ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වූ බව සඳහන් වේ. මෙම සංකල්පය ජනප්‍රිය කිරීමට මූලික වූයේ සොනෝරා ස්මාර්ට් ඩොඩ් (Sonora Smart Dodd) නම් කාන්තාවයි. ඇයගේ පියා යුද හමුදා සේවයේ නියුතු වූ අතර, මවගේ අභාවයෙන් පසු දරුවන් හය දෙනෙකු තනිවම ඇති දැඩි කළ කැපවූ පියෙකු විය.
1910 වසරේදී ඇමරිකාවේ ස්පොකේන් නගරයේ පළමු නිල පියවරුන්ගේ දින සැමරුම පැවැත්වුණු අතර, 1972 වසරේදී එවකට ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් විසින් එය ජාතික නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
පියවරුන් යනු බොහෝවිට තම ආදරය වචනවලින් නොව ක්‍රියාවෙන් පෙන්වන පුද්ගලයන්ය. පවුලේ අනාගතය වෙනුවෙන් නිහඬව කැපවෙමින්, දුෂ්කරතා මැද පවුල ආරක්ෂා කරමින් සිටින ඔවුන්ගේ මෙහෙවර සමාජයේ ඉහළ ගෞරවයකට පාත්‍ර විය යුතුය.
අම්මා සෙනෙහසේ සෙවන දෙන විට, පියා පවුලට ශක්තිය, ආරක්ෂාව සහ මගපෙන්වීම ලබා දෙන අයෙකි. එබැවින් අද දිනයේ ලොව පුරා සිටින සියලු පියවරුන්ගේ කැපවීම සහ ආදරය කෘතවේදීව සිහිපත් කරනු ලැබේ.











Leave a Reply