ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහර මංගල්‍ය අද (08) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව අද (08) උඩමළුවේ පෙරහරද, හෙට (09) පහත මළුවේ පෙරහරද, 10 වැනිදා රන්දෝලී පෙරහරද වර්තමාන විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපති, රුසියාවේ හිටපු තානාපති සමන් වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙවර දුරුතු පෙරහර මංගල්‍ය සඳහා අලි ඇතුන් 30 දෙනකු පමණ සහභාගි කරවීමට නියමිත අතර උඩරට, පහතරට සහ සබරගමුව නර්තන සම්ප්‍රදායන් නිරූපණය කරන නර්තන අංග රැසක්ද පෙරහරට එක් කිරීමට සැලසුම් කර ඇත.
අවසන් රන්දෝලී පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ මාර්ග බාධක ස්ථාපිත කිරීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම, සංචාරකයන්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල්කිරීම් ඇතුළු කටයුතු සිදු කෙරේ.
1925 වසරේ බුද්ධ පූජා පින්කමක් ලෙස ආරම්භ වූ මෙම දුරුතු පෙරහර, බුදු රජාණන් වහන්සේගේ පූජනීය කැලණිය සංචාරය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන ආගමික උත්සවයකි. බුදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරනු පිණිස, කැලණිය රජමහා විහාරාධිපති අපවත් වී වදාළ මාපිටිගම ධම්මරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 1927 දී මෙය විධිමත් පෙරහරක් ලෙස නැවත ආරම්භ කර තිබේ.
මෙම දුරුතු උත්සවය මෙරට පැරණි ආගමික චාරිත්‍ර, සංස්කෘතික සම්ප්‍රදායන් සහ උරුමයන් විදහා දක්වන ජාතික වැදගත්කමක් ඇති උත්සවයක් වන අතර මාසයක කාලයක් පුරා පැවැත්වෙන ආගමික කටයුතු රැසකින් සමන්විත වේ.
දුරුතු උත්සවය අදියර තුනකින් සමරනු ලබන අතර ධර්ම දේශනා මාලාව, සතියක පිරිත් සජ්ඣායනා උත්සවය සහ අවසානයේ පවත්වනු ලබන සුප්‍රසිද්ධ පෙරහර මංගල්‍යය ඒ තුළ අන්තර්ගත වේ. දුරුතු පෙරහර නැරඹීමට දිවයිනේ සතර දෙසින් ජනතාව කැලණියට පැමිණෙන අතර, එමගින් කැලණිය අද වන විට දේශීය හා විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙසද හැඳින්වේ.











Leave a Reply