අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – පළාත් 09 තුළම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීමක්

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – පළාත් 09 තුළම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීමක්

දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අද (08) සිට දිවයිනේ පළාත් 09 තුළම වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, මෙම පීඩන අවපාතයේ බලපෑම මත කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ මඩකළපුවේ සිට හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශයන්හි නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා දැනුම් දෙයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝමීටර් 700ක් පමණ ගිනිකොන දෙසින් පැවති අතර, එය අද වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

ඊට අමතරව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අවදානම් සහ සූදානම් තත්ත්වයේ නිවේදන නිකුත් කර ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media